ගුජරාටයෙන් හමු වූ ශ්‍රී සර්වඥ ධාතු පළමුවරට ඉන්දියාවෙන් පිටතට වැඩම කරවීම සනිටුහන් කරමින් හෙට මෙරටට වැඩම කරවීමට නියමිතයි.
සර්වඥ ධාතු වන්දනාව අනිද්දා සිට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැය 24 පුරාම පැවැත්වෙනවා.
ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නුවර සිට කිලෝමීටර් 125ක් දුරින් පිහිටි ඉපැරණි දෙව්නි මෝරි විහාර ස්ථුපයේ කළ කැණීම්වලදී සර්වඥ ධාතුන් වහන්සේ සොයා ගැනුනේ 1957 වසරේ දී.
කැණීම්වලදී දෙව්නි මෝරි ස්ථුපයේ පාදමේ සිට අඩි 24ක් උසකින් කොළ පැහැති පාෂාණයෙන් සාදා ඇති කරඩුවක් පුරාවිද්‍යා බලධාරීන් සොයා ගෙන තිබුණා.
එහි බ්රාහ්මීය අක්ෂරවලින් වැකියක් ලියා තිබූ අතර, එහි සිංහල තේරුම වන්නේ බුදුන් වහන්සේගේ ශාරීර ධාතුන් වැඩවසන ස්ථානය යනුවෙන්.
මෙම ධාතු කරඩු තුළ පූජ්‍යනීය භෂ්මාවශේෂ ඇතුළත් තඹ පෙට්ටියක් සමඟින් සේද රෙදි කැබැල්ලක් සහ පබළු සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වුණා.
මීට වාතය ඇතුළුවීම නැවැත්වීම සඳහා සියුම් ලෙස මුද්‍රා තිබු අතර, ධාතුන් වහන්සේලා සමඟින් රන් ආලේපිත බෝතලය සහ සේද රෙදි කැබැල්ල කපු පුළුන් මත තබා තිබුණා.
මෙම පුරා වස්තු පිළිබඳ සිදු කළ කාබන් පරීක්ෂාවේදී ද එහි සත්‍යය තාවය තහවුරු වී තිබෙනවා.
මේ වනවිට වදෝදරා, බරෝදා හා මහරාජා සයාජිරාඕ විශ්වවිද්‍යාලයේ තැම්පත් කර තිබෙන බුදුන් වහන්සේගේ මෙම සර්වඥ ධාතුන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මැදිහත්වීම මත හෙට ශ්‍රී ලංකාවට වැඩම කරවීමට නියමිතයි.
ඉන්දියාවෙන් පිටතට මෙම සර්වඥ ධාතුන් වැඩම කරවන ප්‍රථම අවස්ථාව ද වන්නේ මෙය වීම විශේෂත්වයක්.
ඒ අනුව හෙට පෙරවරු 11ට පමණට සර්වඥ ධාතුන් ශ්‍රී ලංකාවට වැඩම කරවන අතර, එම අවස්ථාවට ගුජරාට් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ශ්‍රී ආචාර්යා දෙව්රත් සහ ගුජරාටයේ නියෝජ්‍ය මහා ඇමති හර්ෂ් සංඝවි යන මහත්වරුන් ප්රමුඛ ඉන්දීය දූත පිරිසක් ද මෙරටට පැමිණීමට නියමිතයි.
ධාතූන් වැඩම කරවීම ඉන්දියාවේ සංස්කෘතික රාජ්‍යතාන්ත්‍රිකභාවය ඉදිරියට ගෙන යමින් ඉන්දියාවේ ජනතා කේන්ද්‍රීය විදේශ ප්‍රතිපත්තිය යළි අවධාරණය කිරීමක් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසනවා.අනිද්දා සිට ලබන 10 වැනිදා දක්වා දෙව්නි මෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්වෙනවා.





