සම්බාධක ඉවත්කරන්න අවධානය

ඉරාන තෙල් අපනයනය සඳහා පනවා ඇති සම්බාදක ඉවත් කිරීම සම්බන්ධයෙන් සලකා බැලීම ට අමෙරිකාව තීරණය කර තිබෙනවා.
ඒ ඉරානයට එරෙහිව අමෙරිකා – ඊශ්‍රායලය යුද්ධය තුන්වන සතියත් ඉක්මවා ඇදී යමින් තිබියදී මතුව ඇති ලෝක ආර්ථික සහ බලශක්ති වෙළෙඳපොළේ සිදුව ඇති බිඳවැටීම් යථාවත් කිරීම වෙනුවෙන්.
අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ෆොක්ස් රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඊයේ කියා සිටියේ, මේ පියවර හරහා ගෝලීය තෙල් අර්බුදයට යම් සහනයක් සැලසිය හැකි බවයි.
යුද්ධයේ ආර්ථික බලපෑම සහ ඒ් ආශ්‍රයෙන් අමෙරිකාවට එල්ල වන පීඩනය පිළිබඳ සාකෂියක් වන මෙම තීරණය, ඔවුන්ගේ සැලකිය යුතු ආපසු හැරීමක් බවයි ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙන්නේ.

මැදපෙරදිග යුද්ධය අද 21 වැනි දිනයට එළඹියේ, ඊයේ රාත්‍රියේ ඊශ්‍රායලය ඉරානයේ ටෙහෙරාන් අගනුවරට එල්ල කළ ප්‍රහාරයේ කළු දුමාරයත් සමගින්.
එම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය ද ඊශ්‍රායලයේ ජෙරුසලමට ප්‍රහාර එල්ල කළ බවයි සඳහන් වෙන්නේ.
ජෙරුසෙලමේ පිපිරීම් හඬ නැගුණු බවත් මිසයිල ප්‍රහාරවලට පෙර සයිරන් හඬ නැගුණු බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ඉරාන රාජ්‍ය රූපවාහිනිය ද වාර්තා කර තිබුණේ මිසයිල ප්‍රහාර හතරක් ජෙරුසෙලමට දියත් කළ බවයි.
ඒ් සමගම සෞදි අරාබිය සහ බහරේනය ද වාර්තා කර තිබුණේ තම භුමි ප්‍රදේශයට පැමිණි ඩ්‍රෝන යානා විනාශ කළ බවයි.
මේ අතර ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ආරග්චි අනතුරු අඟවා තිබුණේ, ඉරාන ආර්ථික යටිතල පහසුකම්වලට තවදුරටත් ප්‍රහාර එල්ල කළහොත් ඉරානයේ සංයමය අවසන් විය හැකි බවටයි.
ඊශ්‍රායලය ඊයේ ඉරානයේ දකුණු පාර්ස්හි පිහිටි ගෑස් නිෂ්පාදන කලාපයට එල්ල කළ ප්‍රහාරය, මෙම ප්‍රකාශයට පදනම් වන අතර, එම ප්‍රහාරයත් ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය කටාර්හි රාස් ලෆාන් බලශක්ති සංකීර්ණයට එල්ල කළ ප්‍රහාරයත් ලෝකයේ ස්වාභාවික ගෑස් නිෂ්පාදනයෙන් විශාලතම කොටසක් ඇණහිටුවා තිබෙනවා.
එය එත්සත් රාජධානියේ සහ යුරෝපයේ විශාල ස්වාභාවික ගෑස් අර්බුදයක් නිර්මාණය කර ඇති බවයි වාර්ත්‍යා වන්නේ.
මේ අතර, ඊශ්‍රායලය ඉරානයේ දකුණු පාර්ස් ගෑස් නිෂ්පාදන කලාපයට එල්ල කළ ප්‍රහාරය අමෙරිකාවේ අනුදැනුමකින් තොරව එල්ල කළ ප්‍රහාරයක් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.
ඊයේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ නිවේදනය තහවුරු කරමින් කරන ලද මෙම ප්‍රකාශය, ඒ් සම්බන්ධයෙන් යුරෝපයෙන් එල්ලවන අපවාදය තනිව භාරගැනීමක් බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.
ඊයේ ඊශ්‍රායලයේ ජෙරුසලම් රජයේ මාධ්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, දැඩිව අවධාරණය කළේ ඉරානය සම්පූර්ණයෙන්ම තලා දමන බවටයි
එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට ‘සාක්ෂාත් කරගත හැකි ඉලක්ක සපුරාගත් පසු හෝමූස් සමුද්‍ර සන්ධිය මඟ හරින නව තෙල් හා ගෑස් මාර්ග නිර්මාණය කරගන්නා බවත්, ලෝකයේ ‘හුස්ම හිරවන ස්ථාන සදහටම ඉවත් කළ යුතු බවත් ඔහු අවධාරණය කළා
ඒ් සමගම ‘මිනිසුන් සිතනවාට වඩා බොහෝ වේගයෙන්’ යුද්ධය අවසන් විය හැකි බව ද ඔහු සඳහන් කළා
මේ අතර, ට්‍රම්ප් පරිපාලනය, ඉරාන යුද්ධය සඳහා ඩොලර් බිලියන 200 ක හදිසි අරමුදල් ඉල්ලා සිටින බවට වන වාර්තා ප්‍රසිද්ධ වීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා දැඩි කෝපයට පත්ව සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ඒ් පිළිබඳ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා ඊයේ සඳහන් කර තිබුණේ, එක්සත් ජනපද මිලිටරියේ ඉහළම තැන තබා ගැනීම සඳහා කරන මේ වියදම “කුඩා මිලක්” බවයි.

මේ අතර, හෝමූස් සමුද්‍ර සන්ධියේ අවහිරයත් සමග ඉස්මතුව ඇති බලශක්ති අර්බුදය හේතුවෙන් ඉහළ යන ආර්ථික පීඩනය පිළිබඳ කනස්සල්ල පිළිබඳ ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප්ගේ යුද ලේකම් පීට් හෙග්සෙත් “නරක මිනිසුන් මරා දැමීමට මුදල් අවශ්‍ය” බව ට කර ඇති ප්‍රකාශය මේ වන විටත් දැඩි මතභේදයට තුඩු දී තිබෙනවා.
ඩොලර් බිලියන 200 ක ඉල්ලීම පිළිබඳව වාර්තාකරුවෙකු කළ විමසීමට ප්‍රතිචාර වශයෙන් පීට් හෙග්සෙත් මේ බව සඳහන් කර තිබුණා.

අමෙරිකානු අභ්‍යන්තර වාර්තා පෙන්වා දී ඇත්තේ ගැටුමේ පළමු දින හය තුළ පමණක්, ඔවුන් ඩොලර් බිලියන 11.3 ක යුද අවි පුළුස්සා දමා ඇති බවයි.
එතැන් සිට දිනකට දිනකට ඩොලර් බිලියන 2 කට ආසන්න මිසයිල පුළුස්සා දමන යුද්ධයට එරෙහිව මේ වන විට අමෙරිකාව තුළින්ම මතුවන විරෝධය ඉහළ යමින් ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ.

Share