සබීනාට ලෝකයේ ම තෙවැනි තැන

41 වන ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ තුන්වන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ සබීනා යූසුෆ් සමත් වුණා.
ඒ ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හිදී පැවති මෙම තරඟයේ දී රටවල් 60 කට අධික තරඟකරුවන් සංඛ්‍යාවක් අභිබවා යමින්. ඇමරිකා එක්සත් ජනපදයේ ලස් වේගස් හි දී පැවති 41 වන ලෝක විවාහක රූ රැජින තරඟය, විවාහක කාන්තාවන් සඳහා පමණක් වූ දීර්ඝතම සහ වඩාත්ම ගෞරවනීය ජාත්‍යන්තර තරඟාවලියක්. මේ සඳහා රටවල් 60 කට වැඩි ගණනකින් තරඟකාරියන් සහභාගී වූ අතර, එක් එක් තරඟකාරියන් ගෝලීය වේදිකාවේ ඔවුන්ගේ සංස්කෘතික අභිමානයන් ප්‍රදර්ශනය කළා.

මෙහි දී තායිලන්තයේ චානිටා සීඩකෙට් ක්‍රේතෝර්න් 2025 ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළු පැළඳූ අතර, එක්සත් ජනපදයේ පේජ් යුවින් පළමු අනුශූරතාව දිනා ගත්තා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සබීනා යූසුෆ් හට හිමි වූයේ දෙවන අනුශූරතාවයි.
ඇය හොඳම තරඟකාරියන් 20 දෙනා අතරට තේරී පත් වූ අතර, අතුරු තරඟ අංශයක් වූ ‘මිසිස් ෆොටෝජෙනික්’ හෙවත් ඡායාරූපයට වඩාත් උචිත රූ රැජිනට හිමි සම්මානය ද දිනා ගැනීම විශේෂත්වයක්.
යූසෆ් විසින් ඉදිරිපත් කෙරුණු රත් පැහැති ඔසරිය ජාත්‍යන්තර අවධානය ශ්‍රී ලංකාව වෙත ලබාගැනීමට සමත් වුණා. ලෝක විවාහක රූ රැජින තරඟ ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන ඇති අතර, 1984 වසරේදී ආරම්භ වූ මෙම තරඟාවලියේ ප්‍රථම ජයග්‍රාහිකාව බවට පත් වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ රෝසි සේනානායක මහත්මියයි.
මෙවර සබීනා යූසුෆ් දිරිගැන්වීම සඳහා රෝසි සේනානායක මහත්මිය ද ලාස් වේගාස් හි මෙම අවස්ථාවට සහභාගී වී සිටීම විශේෂත්වයක්.

Share