සති අන්තයේත් ඉන්ධන සැපයුම අඛණ්ඩව

එලැඹෙන සති අන්තයේත් හිඟයකින් තොරව බෙදුම්කරුවන් වෙත ඉන්ධන බෙදා හැරීම් සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දිවයින පුරා ඩීපෝ 107න් ඩිපෝ 103ක දී පෞද්ගලික බස් රථ ඉන්ධන ලබාදීම ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරනවා.

වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කමට අදාලව ඉන්ධන නිකුත් කිරීම ඊයේ ආරම්භ කෙරුණු අතර ඒ අනුව අද දිනයේ ඉන්ධන නිකුත් කෙරෙන්නේ අංක තහඩුවේ අවසාන ඉලක්කම ඉරට්ටේ ඉලක්කමක් සහිත වාහනවලට පමණයි.
මෙම පියවරත් සමග කොළඹ සහ තදාසන්න ප්‍රදේශ බොහෝමයක ඉන්ධනහල් ඉදිරිපිටක තිබූ දිගු පෝලිම් අඩුවී තිබුණා
කෙස් වෙතත් අද පෙරවරුවේ නාගරික ප්‍රදේශ වලින් බැහැර ඉන්ධන පිරුවුම් හල් අසල තවදුරටත් දිගු පොලිම් දක්නට ලැබුනත් පස්වරුවන විට එම දිගු පෝලිම් වල ද සැලකිය යුතු අඩුවක් දක්නට ලැබුණා.

කෙසේ වෙතත් ඇතැම් පිරවුම්හල් සඳහා ඇනවුම්කළ ඉන්ධන තොග නොලැබීම හේතුවෙන් ඒවා වසා දමා ඇති අයුරු දක්නට ලැබුනා.
ඉන්ධන බෙදා හැරීම් සිදුකෙරෙන පිරවුම් හල් වෙත යුද හමුදාවේ සහ පොලිස් නිළධාරීන් යොදවා ආරක්ෂාව සහ කටයුතු නිරීක්ෂනය කෙරෙන අයුරු දක්නට ලැබුණා.
මේ අතර කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ ඉන්ධන නිකුතුව කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදු කෙරන බව බව්සර් රථ රියදුරන් පවසනවා.

මේ අතර ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR සාදා ගැනීමට නොහැකි වූ පිරිස් සඳහා අවශ්‍ය තාක්ෂණික සහය සපයමින් ඒවා සකස් කරදීමේ වැඩසටහනක් අද දවස පුරා ගාල්ල මහ නගර සභා ශාලාවේදී පැවැත්වුණා.
ක්ලින් ශ්‍රී ලංකා වැඩසටන සහ ගාල්ල මහා නගර සභාව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.

මේ අතර සාමාන්‍ය පරිදි හෙට සහ අනිද්දා දිනවල බෙදුම්කරුවන් වෙත ඉන්ධන බෙදා හැරීම් සිදු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළා
පෞද්ගලික ටැංකි රථ රියැදුරන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා කියා සිටියේ ඉදිරියේ දී සියළු ඉන්ධන මිල ගණන් ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බවයි.

මෙරටට ආනයන කරන වාහන හම්බන්තොට වරායේ සිට එම වාහන හිමිකරුවන් වෙත හෝ අදාල ස්තාන වලට රැගෙන යාම සදහා තිබූ ඉන්ධන ගැටලුව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සමග පැවැති සාකච්ඡාවක දී විසඳාගෙන තිබෙනවා.

මේ අතර පෞද්ගලික බස් රථ සඳහා සිය ඩීපෝ මගින් ඉන්ධන ලබාදීම මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරනවා.
එලෙස ඉන්ධන නිකුත් කරන්නේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී ඇති සහ දැනට මාර්ගවල ධාවනය වන බස් රථ සඳහායි.
එම ඉන්ධන ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා පෞද්ගලික බස් හිමියන් තම බස් රථය ගමනාගමන කොමිසමේ හෝ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවල ලියාපදිංචි වී ඇති බව තහවුරු කිරීම අනිවාර්ය වනවා.
නිවැරිදි භාවය තහවුරු කිරිමෙන් අනතුරුව පෞද්ගලික බස් හිමියන්ට එලෙස අවශ්‍ය ඉන්ධන ලබා ගැනිමට හැකියි.

මේ අතර හම්බන්තොට, කටුවැව සල්මල්යාය ප්‍රදේශයේ ඉන්ධන ලීටර් 500කට ආසන්න තොගයක් රැස්කර තබාගෙන සිටි අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත එම අංශයේ නිළධාරීන් මෙම වැටලීම සිදු කර ඇත්තේ.
එම වැටලීමේ දී නිවසෙහි සඟවා තිබී ඩීසල් ලීටර් 480කට වැඩි ප්‍රමාණයක් සහ පෙට්‍රල් ලීටර් 20කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

මේ අතර වැලිමඩ -බෝගහකුඔුර නගරයේ බලපත්‍ර නොමැතිව වැඩි මිළට ඉන්ධන අලෙවි කිරීමේ වරදට සැකකරුවන් දෙදෙනෙකු බෝගහකුඔුර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා
සැකකරුවන් සතුව තිබි පෙට්ට්‍රල් ලීටර් 110 ඩීසල් ලීටර් 18 හා භූමිතෙල් ලීටර් 30 ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර බලපත්‍ර නොමැතිව රුපියල් 20000 ක් වටිනා පෙට්‍රල් ඉන්ධන ලීටර් 65 ක් කුඩා ලොරි රථයකින් ප්‍රවාහනය කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අංක 01 අධිකරණය වෙත ඉදිරිපත් කල බව වැල්ලවත්ත පොලිසිය සදහන් කළා
එහිදී සැකකරු වරද පිළිගැනීමෙන් අනතුරුව මාස දෙකක සිර දඬුවම් නියම කල මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊට අමතරව රුපියල් 2500 දඩයක්ද නියම කළා.
එය නොගෙවන්නේනම් තවත් මාස එකක අමතර සිර දඬුවමක් නියම කරන බවද නියෝග කළා.

මේ අතර හංවැල්ල ඇඹුල්ගම මංසන්දියේ වෙළදසැලක් පිටුපස සගවා තිබූ ඩීසල් ලීටර් 720 කට ආසන්න ප්‍රමාණයක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු හංවැල්ල පොලිසිය මගින් අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙට දින හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර වැඩිමිළට තෙල් අළෙවි කරන පුද්ගලයින් සොයා සිදුකරන වැටලීම් අඛණ්ඩව සිදු කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලියු. පී.ජේ. සේනාධීර මහතා පවසනවා.

මේ අතර ඉන්ධන QR කේතය සඳහා අද පස්වරු 4.30 වනවිට සමස්ථ නව ලියාපදිංචීම් මිලියන 1.95ක් සිදුව ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සදහන් කරනවා.
එම අමාත්‍යංශයේ දත්ත අනුව අද සවස 4.30 වනවිට අද දිනයට පමණක් පද්ධතිය තුළ ලියාපදිංචී වී ඇති සංඛ්‍යාව 182,189ක්.
ඊට අමතරව මේ මස 15 දින 42,899ක්, 16 දින 337,068ක්, 17 දින 395,349ක් සහ මාර්තු 18 දින 301,463ක් ලෙස නව ලියාපදිංචීම් වාර්තා වී ඇති බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසන්නේ.

Share