සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මනෝජ් සුරංග ලියනගේ නොහොත් බටුවත්තේ චාමරගේ බිරිඳට අයත් බව කියන ජා ඇල ප්‍රදේශයේ නිවසකට අද අලුයම වෙඩි තබා ඇතැයි පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ වෙඩි ප්‍රහාර 23ක් පමණ එල්ල වී ඇති බවයි.

අද අලුයම 1:25ට ජා ඇල පොලිස් වසමේ අංක 05, ශාන්ත ආනා පාර, වැලිගම්පිටිය ලිපිනයේ පිහිටි නිවස ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම නිවස මනෝජ් සුරංග ලියනගේ හෙවත් ‘බටුවත්තේ චාමර’ යන අයගේ බිරිඳ වන චතුරිකා වීරසූරිය පදිංචිව සිටි නිවසයි. ඒ අසළ ඇති තවත් නිවාස දෙකකට ද වෙඩි තබා තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු විසින් T56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇතැයි පොලිසිය පැවසුවා. මනෝජ් සුරංග ලියනගේ හෙවත් ‘බටුවත්තේ චාමර’ යන අයගේ බිරිඳ මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සිටින අතර, මෙම නිවස දැනට මාස 02ක පමණ සිට වැඩිහිටි නිවාසයක් සඳහා මාසිකව රු. 125,000ක මුදලට කුලියට ලබාදී ඇති බව සඳහන්. මෙම වෙඩි තබන අවස්ථාවේ නිවසේ වැඩිහිටියන් 9 දෙනෙකු සහ සාත්තු සේවිකාවන් 4 දෙනෙකු සිට තිබෙනවා. ඔවුන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැහැ. වෙඩි තැබූ ස්ථානයේ තිබී පතොරම් කොපු 21 ක් සොයාගෙන තිබෙනවා.

Share