ශ්‍රී ලාංකික ජනතාව රට ගොඩනංවන අපේක්ෂා පෙරදැරිව උත්සවශ්‍රීයෙන් නව වසර පිළිගනී

අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සමඟ නොසැලෙන අදිටනින් සහ විශ්වාසයෙන් යුතුව සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු දෙනාට ආරාධනා කරනවා.

උදා වු නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ලෝක ඉතිහාසයේ බිඳවැටුණු සෑම රාජ්‍යයක්ම ගොඩනැඟීමේදී ප්‍රධානතම පිටුබලය වූයේ එම ජනතාවගේ අභිලාෂය සහ ධෛර්ය බවයි.

කොළඹ අහස විචිත්‍රවත් කළ මල්වෙඩි සංදර්ශන සමගින් ශ්‍රී ලාංකිකයන් 2026 නව වසර පිළිගත්තේ දිට්වා නිසා බිඳ වැටුණු රට යළි ගොඩ නංවන අපේක්ෂා ද පෙරදැරි කර ගනිමින්.

කොළඹ ගාලු මුවදොර පිරුණු ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ප්‍රීතිඝෝෂා මැද 2026 නව වසර උදා වුණා.නෙළුම් කුලුනෙන් ඉහළට නැගුණු විචිත්‍රවත් මල් වෙඩි දැල්වූයේ බලාපොරොත්තුවේ ආලෝකයයි. පෝර්ට් සිටියෙන් අහසට නැගුණු ගිනිකෙළි ඉන්දියන් සාගරය පසුබිම් කරගනිමින් මනස්කාන්ත දසුන් මැව්වා. බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ නව වසරේ පළමු කාර්යය වූයේ ආගමික ආශිර්වාද ලැබුමයි.

උදා වූ 2026 නව වසරට සුබ පතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
අප සැම එක්ව තව බොහෝ දුර යා යුතුව ඇතැයි සිහිපත් කරනවා.

ලෝක ඉතිහාසයේ බිඳවැටුණු සෑම රාජ්‍යයක්ම ගොඩනැඟීමේදී ප්‍රධානතම පිටුබලය වූයේ එම ජනතාවගේ අභිලාෂය සහ ධෛර්ය බව පෙන්වා දෙන ජනාධිපතිවරයා මෙරට පුරවැසියන්ගේ නොසැලෙන ධෛර්යයේ ශක්තිය හේතුවෙන් පැවතියාටත් වඩා යහපත් රටක් ගොඩනැගිය හැකි බවට විශ්වාසය පල කරනවා.

අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සමඟ නොසැලෙන අදිටනින් සහ විශ්වාසයෙන් යුතුව සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගන්නා ලෙස ජනාධිපතිවරයා සියලු දෙනාට ආරාධනා කරනවා.

උදාවූ 2026 නව වසර වෙත අප පා තබන්නේ පසුගිය වසරේ මුහුණ දුන් ස්වභාවික ව්‍යසනයේ අභියෝග ජය ගනිමින්, ව්‍යසනයෙන් බිඳුණු සිත් සුවපත් කරමින් සහ බිඳවැටුණු ජන ජීවිත යළි යථා තත්ත්වයට පත් කිරීමේ දැඩි කැපවීම පෙරදැරිව බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සිය නව අවුරුදු සුබ පැතුමේ සඳහන් කර තිබෙනවා.

ඇය සිහිපත් කරන්නේ ජාති, ආගම් හා පක්ෂ භේදයකින් තොරව, ශක්තිමත් ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතුව මේ රට ගොඩනැඟීමේ වගකීම රජය ඇතුළු සමස්ත ජනතාව වෙත පැවරෙන බවයි.

2026 නව වසර මාතෘ භූමියට අභියෝගාත්මක වසරක් වන බව පෙන්වා දෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එය මැනවින් හඳුනා ගෙන හැඟීම්වලට නොව බුද්ධියට අවකාශය සලසා දී කටයුතු කිරීමට සියලු දෙනා අදිටන් කර ගත යුතු බව නව අවුරුද්දට සුබ පැතුම් එක් කරමින් පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක

අප සැම එක්ව තව බොහෝ දුර යා යුතුව ඇත.

ලෝක ඉතිහාසයේ බිඳවැටුණු සෑම රාජ්‍යයක්ම ගොඩනැඟීමේදී ප්‍රධානතම පිටුබලය වූයේ එම ජනතාවගේ අභිලාෂය සහ ධෛර්යයි.

මගේ රටේ ආදරණීය පුරවැසියන්ගේ නොසැලෙන ධෛර්යයේ ශක්තිය හේතුවෙන් අප සැම එක්ව පැවතියාටත් වඩා යහපත් රටක් ගොඩනැගිය හැකි බව අපි ඒකාන්තයෙන්ම විශ්වාස කරන්නෙමු.

අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සමඟ නොසැලෙන අදිටනින් සහ විශ්වාසයෙන් යුතුව සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගැනීමට සියලු දෙනාට ආරාධනා කරමි.

හරිනි අමරසූරිය – අග්‍රාමාත්‍ය

උදාවූ 2026 නව වසර වෙත අප පා තබන්නේ අභියෝග ජය ගනිමින්, ව්‍යසනයෙන් බිඳුණු සිත් සුවපත් කරමින් සහ බිඳවැටුණු ජන ජීවිත යළි යථා තත්ත්වයට පත් කිරීමේ දැඩි කැපවීම පෙරදැරිව ය.

ජාති, ආගම් හා පක්ෂ භේදයකින් තොරව, ශක්තිමත් ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතුව මේ රට ගොඩනැඟීමේ වගකීම රජය ඇතුළු සමස්ත ජනතාව වෙත පැවරෙන බව මේ මොහොතේ සිහිපත් කරනු කැමැත්තෙමි.

සජිත් ප්‍රේමදාස – විපක්ෂ නායක

2026 නව වසර අපගේ මාතෘ භූමියට අභියෝගාත්මක වසරක් වනු නොඅනුමාන ය.

එය මැනවින් හඳුනා ගෙන හැඟීම්වලට නොව බුද්ධියට අවකාශය සලසා දී කටයුතු කිරීමට අප සියලු දෙනා අදිටන් කර ගත යුතු ය.

Share