ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ප්‍රධාන සංවර්ධන ක්ෂේත්රයන්හි සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ එකඟතාවන් කිහිපයකට එළැඹුණු බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කළා. ශ්‍රී ලංකා – පාකිස්තාන ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වැනි සැසිය ඊයේ කොළඹදී පැවැත්වුණු අතර දෙරටේ පවතින දිගුකාලීන ආර්ථික හවුල්කාරිත්වය යළි තහවුරු කරමින් මෙම එකඟතාවන්ට එළැඹී තිබෙනවා.
ශ්‍රී ලංකා – පාකිස්තාන ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වැනි සැසිය ඊයේ කොළඹදී පැවැත්වුණා. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත හා නිෂ්පාදන පිළිබඳ විශේෂ සහකාර හාරූන් අක්තාර් ඛාන් ඇතුළු දූත පිරිස මෙන්ම වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිසක්ද ඊට සහභාගී වී සිටියා. වත්මන් රජය යටතේ පාකිස්තාන ඉහළ පෙළේ නිල රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් සමඟ පැවැත්වූ පළමු නිල සාකච්ඡාව ද මෙය වීම විශේෂත්වයක්. මෙම සැසියේදී වෙළෙඳාම සහ ආයෝජන, කර්මාන්ත, බැංකු සහ මුදල්, අධ්‍යාපනය, සෞඛ්‍යය, සංචාරක ව්‍යාපාරය, තොරතුරු තාක්ෂණය මෙන්ම ඩිජිටල් ආර්ථිකය, සමුද්‍රීය කටයුතු, ගුවන් සහ රේගු, තොරතුරු හා සංස්කෘතිය ඇතුළු කරුණු රැසක සහයෝගීතාව පිළිබඳව සමාලෝචනය කෙරුණා. ද්විපාර්ශ්වික වෙළෙඳාමේ මෙතෙක් ප්‍රයෝජනයට නොගත් විශාල විභවයන් පවතින බව පිළිගත් දූත පිරිස, නවෝත්පාදන, තාක්ෂණ හුවමාරුව, ආයතනික සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ පෞද්ගලික අංශයේ දායකත්වය ඉහළ නැංවීම හරහා තිරසාර වර්ධනයක් ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවත් මෙම සැසියේදී අවධාරණය කරන ලදී.
මේ අතර, ඩුබායි හි පැවැත්වෙන “Gulfood 2026” ජාත්‍යන්තර ප්‍රදර්ශනයට එක් වූ වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි මහතා අතර සාකච්ඡාවක් පසුගියදා 27 වැනිදා පැවැත්වුණා. දෙරට අතර විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමට එළඹීමට අදාළව ශ්‍රී ලංකාවේ සූදානම පිළිබඳ මෙහිදී අවධාරණය කෙරුණු අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඒ සඳහා ඉතා ධනාත්මක ප්‍රතිචාරයක් දක්වමින්, ඒ පිළිබඳ සාකච්ඡා වහාම ආරම්භ කිරීමට එකඟතාව පළ කර තිබෙනවා. මෙමගින් ශ්‍රී ලාංකීය නිෂ්පාදන සඳහා මැදපෙරදිග වෙළඳපොළ වඩාත් විවෘත වන අතර, මෙරට තුළ නව ආයෝජන අවස්ථා රැසක් බිහිවනු ඇති.
මේ අතර වෙළෙඳ හා ආයෝජන අවස්ථාවන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ සාජා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති අබ්දුල්ලා සුල්තාන් අල් ඔවයිස් මහතා අතර හමුවක්ද පැවැත්වුණා. එහිදී මෙම වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත “Expo Sri Lanka 2026” ප්‍රදර්ශනය සඳහා සාජා වාණිජ මණ්ඩලයේ නායකත්වයෙන් යුත් ව්‍යාපාරික දූත පිරිසකට සහභාගී වන ලෙස අමාත්‍යවරයා නිල වශයෙන් ආරාධනා කිරීම ද සිදුකෙරුණා.





