ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු T20 තරගය අද පල්ලේකැලේදී

වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ඊයේ පැවති තීරණාත්මක තරගයෙන් දකුණු අප්‍රිකාව පරදා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක විශිෂ්ට ජයක් ලැබීමට සමත් වුණා.
සිම්බාබ්වේහි බුලවායෝහිදී පැවති මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු විරාන් චමුදිත මෙම තරගාවලියේ දී වාර්තා කළ දෙවන ශතකයත් ලබා ගැනීමට සමත්වීම විශේෂත්වයක්.

මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පනදුවට පහර දුන්, දකුණු අප්‍රිකානුවන් කඩුලු 7 ක් දැවී ලකුණු 261 ක් ලබා ගත්තා.
ජොරිෂ් වැන් ලකුණු 116ක් ලබාගත් අතර, ඇඩ්නාන් ලගාඩීන් ලකුණු 46යි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විග්නේෂ්වරන් ආකාෂ් කඩුලු 4ක් දවාගත් අතර කවිජ ගමගේ කඩුලු 2යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම, එම ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී සපුරා ගත්තේ, තරගයේ 46වන පන්දුවාරයේ දී වීම විශේෂත්වයක්.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට මග පාදමින් පිත්තෙන් දස්කම් දැක්වූ විරාන් චමුදිත ලකුණු 110ක් ලබාගත්තා.
සෙනුජ වැකුණගොඩ ලකුණු 48යි.
මෙම ජයග්‍රහණයත් සමගින් මෙවර අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවදුරටත් රඳවාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වනවා.
මේ අතර සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පල්ලෙකැලේදී ආරම්භ වනවා.
මේ තරගය අද රාත්‍රී 07.00ට ආරම්භ වීමට නියමිත අතර ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් නායක දසුන් ශානක කණ්ඩාමේ සංයුතිය පිළිබඳව පැහැදිලි කළා.
එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් ටී20 තරගාවලියත් මෙය‍යි.
මේ අතර,ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ICC පිරිමි T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය අද මහනුවරට රැගෙන එනු ලැබුවා.
ඒ අනුව ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී සහ මහනුවර ක්වීන්ස් හෝටලය අසලදී කුසලානය සමග ඡායාරූප ගැනීමේ අවස්ථාව ක්‍රිකට් ප්‍රේක්ෂකයින් හට අද උදාවුණා.
ඉන්පසු එම ලෝක කුසලානය පේරාදෙණිය සරසවියට රැගෙන ගිය අතරේ වන විට මහනුවර kcc හි එය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර තිබෙනවා
මෙවර විස්සයි විස්ස ලෝක කුලසාන ක්‍රිකට් තරගාවලිය නිදහස් සංඛ්‍යාත ඔස්සේ විකාශය කිරීමේ නිල විකාශක අයිතිය හිමිව ඇත්තේ ටී වී සුප්‍රීම් නාලිකාවටයි.

Share