ශ්‍රී ලංකාව ප්‍රධාන බලශක්ති යටිතල පහසුකම් ව්‍යාපෘති මාලාවක් සඳහා මොස්කව් සමඟ නිල වශයෙන් සාකච්ඡා ආරම්භ කරයි

බලශක්ති ක්ෂේත්‍රයේ පුලුල් සබඳතා පිළිබඳ සංඥා කරමින් ශ්‍රී ලංකාව ප්‍රධාන බලශක්ති යටිතල පහසුකම් ව්‍යාපෘති මාලාවක් සඳහා මොස්කව් සමඟ නිල වශයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

මෙම සාකච්ඡාවලට ද්‍රව ස්වාභාවික වායු සැපයුම සහ ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුව නවීකරණය කිරීම සඳහා වන සැලසුම් ඇතුළත්.

එක්සත් ජනපදයේ ප්‍රධාන ඉන්දු-පැසිෆික් හවුල්කරුවෙකු සහ ඉන්දියාවේ සමීප මිතුරෙකු වන ශ්‍රී ලංකාව, රුසියාව සමඟ ප්‍රමුඛ පෙළේ බලශක්ති ගනුදෙනුවක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීම භු දේශපාලනික වශයෙන් ඉහළ අවධානයක් යොමුවන කාරණයක්.

එවන් පසුබිමක ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතව සඳහා වැදගත් පියවරක් ලෙස අඛණ්ඩ රුසියානු තෙල් සැපයුම් සහතික කිරීම් ද අපේක්ෂා කරන බව මෑත කාලීන සාකච්ඡාවලින් පැහැදිලි වනවා.

රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය වන TASS සමඟ සම්මුඛ සාකච්ඡාවකදී රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ෂොබිනි ගුණසේකර මෙම සාකච්ඡා සහ ශ්‍රී ලංකාවේ ප්‍රවේශය පිළිබඳ තොරතුරු තහවුරු කළා.

කිසිදු ගිවිසුමක් විධිමත් ලෙස අත්සන් කර නොමැති නමුත්, ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ යෝජනාවක් මත මූලික සාකච්ඡා අඛණ්ඩව සිදුවනවා.

උපුටා ගැනීම
“රුසියානු තෙල් සැපයුම් අඛණ්ඩව ලබා ගැනීමට හැකිවන පරිදි ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනට LNG සහ තෙල් පිරිපහදුව නවීකරණය කිරීම යන දෙකම පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටී. තවමත් ගිවිසුම් අත්සන් කර නැත, නමුත් සාකච්ඡා තවමත් සිදුවෙමින් පවතී. අපි අපගේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තෙමු.” උපුටා ගැනීම අවසන්.

ද්විපාර්ශ්වික බලශක්ති සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ රුසියාව කොළඹ ද්‍රව ස්වභාවික ගෑස් පර්යන්තයක් ස්ථාපිත කිරීම පිළිබඳ සාකච්ඡා ද ආරම්භ කර තිබෙනවා

ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ බලශක්ති අමාත්‍යවරුන් අතර ඉහළ මට්ටමේ හමුවීම්වලදී මෙම සාකච්ඡා පැවති බව තානාපතිනිය පැවසුවා.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සැපයුම් ස්ථාවරත්වය වැඩි දියුණු කළ හැකි බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් රුසියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව උනන්දු වන බව ඇය අවධාරණය කළා.

ශ්‍රී ලංකාව රුසියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට උනන්දු වන අතර සාකච්ඡාවේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් මේ අවස්ථාවේදී දැක්විය නොහැකි බව තානාපතිනිය පවසනවා.

රුසියාව සමඟ ශ්‍රී ලංකාව සාකච්ඡා ආරම්භ කර තිබෙන්නේ යුක්රේන යුද්ධය මධ්‍යයේ රුසියානු තෙල් මිලදී ගැනීම නවත්වන ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ සමීප හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටින පසුබිමක යි.

රුසියානු බොරතෙල් මිලදී ගැනීම හේතුවෙන් ට්‍රම්ප් විසින් ඉන්දියාව ඇතුලු රටවලට අධික තීරු බදු පැනවීමට ද පියවර ගත්තා.

එය මොස්කව්හි හමුදා මෙහෙයුම් සඳහා වක්‍රව අරමුදල් සපයන බව ට්‍රම්ප්ගේ තර්කයයි.

රාජ්‍ය නායකයින් අතර ඉහළ මට්ටමේ සාකච්ඡා අතරතුර, ට්‍රම්ප්, ඉන්දියාවෙන් ඉල්ලා සිටියේ රුසියානු තෙල් මිලදී ගැනීම නවතා දමන ලෙසයි.

කෙසේ වෙතත්, ඉන්දියාවේ සංචාරයකදී, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ට්‍රම්ප්ගේ ඉල්ලීම්වලට පටහැනිව නවදිල්ලියට අඛණ්ඩ ඉන්ධන සැපයීමට පොරොන්දු වුණා.

පසුගිය නොවැම්බර් මාසයේදී ට්‍රම්ප් පැවසුවේ අගමැති මෝදි සමඟ කළ දුරකථන ඇමතුමකින් පසු ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම නැවැත්වීමට එකඟ වූ බවයි.

නව දිල්ලිය ට්‍රම්ප්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අතර බලශක්ති තීරණ ගැනීමේදී තමන්ගේ පුරවැසියන්ගේ යහපත වෙනුවෙන් පමණක් ක්‍රියා කරන බව අවධාරනය කළා.

මේ අතර, වොෂින්ටනය ප්‍රධානතම රුසියානු තෙල් සමාගම්වලට සම්බාධක පනවද්දී, යුරෝපීය සංගමය රුසියානු LNG තහනම් කර ඇති අතර එමඟින් ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ සංකීර්ණ තත්ත්වයක් ද නිර්මාණය කර තිබෙනවා.

Share