” ශ්‍රී ලංකාවේ චිකුන්ගුන්යා වෛරස් ව්‍යාප්තිය 2 මට්ටමට ළඟා වෙයි “

ශ්‍රී ලංකාවේ චිකුන්ගුන්යා වෛරස් ව්‍යාප්තිය 2 මට්ටමට ළඟා වී ඇති බව ඇමරිකා එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා.
2025 දෙසැම්බර් මස වෙනුවෙන් නිකුත් කර ඇති මෙම අනතුරු ඇඟවීම මගින් දැනුම් දී ඇත්තේ දිට්වා සුළි කුණාටුවේ විනාශකාරී බලපෑමෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සෞඛ්‍ය සේවා අඩපණ වීම හමුවේ මෙම ව්‍යාප්තිය සිදුව ඇති බවයි.

චිකුන්ගුන්යා යනු මදුරුවන්ගෙන් බෝවන වෛරස් රෝගයක්. ඊඩිස් නම් මදුරු විශේෂය මගින් මිනිසා වෙත මෙම වෛරසය සම්ප්‍රේෂණය වන අතර, පසුගිය කුණාටු සහ ගංවතුර හමුවේ මදුරු ගහනයේ වැඩිවීමත් සමග චිකුන්ගුන්යා වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.
ශ්‍රී ලංකාවේ චිකුන්ගුන්යා වෛරසයේ වැඩිවීම 2වන මට්ටමේ පැවතීම යනුවෙන් එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අදහස් කරන්නේ එරට පුරවැසියන් ශ්‍රී ලංකාවේ සංචාරය කරයි නම් ඔවුන් වැඩිදියුණු කළ පූර්වාරක්ෂක ක්‍රම අනුගමනය කළ යුතු බවයි.
එක්සත් ජනපද සෞඛ්‍ය බලධෘරීන්ගේ අනතුරු ඇඟවීමේ තුන්වන අදියරේදී, අත්‍යවශ්‍ය නොවන සංචාර කල් දමන ලෙසත් එහි සිව්වන මට්ටමේදී සියලුම සංචාර අවලංගු කරන ලෙසත් උපදෙස් නිකුත් කෙරෙනවා.
ශ්‍රි ලංකාව සමග බංග්ලාදේශය, මැඩගස්කරය සෝමාලියාව කෙන්යාව යන රටවල ද චිකුන්ගුන්යා සැලකිය යුතු මට්ටමකින් ව්‍යාප්ත වී ඇති බවයි එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය දැනුම් දී ඇත්තේ.

Share