ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සිය ධුරයෙන් සමුගන්නා බව තහවුරු කරයි

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ලෙස කටයුතු කල ජූලි චන්ග් මහත්මිය එළඹෙන 16 වැනිදා සිය ධුරයෙන් සමුගෙන දිවයිනෙන් පිටත්ව යන බව තහවුරු කර තිබෙනවා.
එසේම මෙරටට නව තානාපතිවරයෙකු පත්ව එන තෙක් නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ජේන් හවෙල් වැඩබලන තානාපතිවරිය ලෙස කටයුතු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙරට අමෙරිකානු තානාපතිනිය ලෙස 2022 වසරේ පෙබරවාරි මාසයේදී රාජකාරි ආරම්භ කළ ජූලී චං මහත්මිය ඇයගේ සේවා කාලය තුළ කැපී පෙනෙන සන්ධිස්ථාන කිහිපයක් සනිටුහන් කර තිබෙනවා
චංග් තානාපතිතුමියගේ නායකත්වය යටතේ, අමෙරිකානු තානාපති කාර්යාලය බිඳ වැටී තිබූ මෙරට ආර්ථිකය යථා තත්වයට පත් කර ගැනීමේ වැඩපිළිවෙලේ දී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළා.
IMF විස්තීර්ණ අරමුදල් පහසුකම සඳහා එක්සත් ජනපදයේ සහයෝගය ලබා දීම, ආහාර සුරක්ෂිත භාවය ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබා දුන් බහු විධ පැකේජයන් සහ 2025 දෙසැම්බර් මාසයේදී, දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට කාලෝචිත මානුෂීය සහාය ලබා දීමට ඇය ගත් පියවර මේ අතරින් කැපී පෙනෙනවා.

සමු ගැනීමේ පණිවිඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කර ඇත්තේ “තමන් ශ්‍රී ලංකාවේ ගත කළ සෑම මොහොතක්ම ආදරයෙන් වැළඳ ගත් බවත්, තනතුර බාර ගත් දා පටන් තම අවධානය යොමු වී තිබුණේ ඇමරිකාවේ ළැදියාවන් ඉදිරියට ගෙන යාම, දෙරටම ශක්තිමත් කරන ආරක්ෂක හවුල්කාරිත්වයන් සවිමත් කිරීම, වෙළඳාම සහ ආයෝජන පුළුල් කිරීම සහ අධ්‍යාපනය සහ ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ප්‍රවර්ධනය කිරීම සඳහා බවයි.
එසේම එකට එක්ව, ඇමරිකානු ජනතාවට ප්‍රතිඵල ලබා දෙන, නිදහස්, විවෘත සහ ආරක්ෂිත ඉන්දු-පැසිෆික් කලාපයකට සහාය වන සම්බන්ධතාවක් ගොඩනඟා තිබෙන බවත් ඇය සඳහන් කලා
එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ පවතින හවුල්කාරිත්වයට කැපවී සිටින අතර චංග් තානාපතිතුමියගේ වසර හතරකට ආසන්න ධුර කාලය තුළ ස්ථාපිත කරන ලද ශක්තිමත් පදනම තවදුරටත් ගොඩ නැංවීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ සමීපව කටයුතු කරන බවද අදාල ලිපියේ සඳහන්.
මේ අතර නව අමෙරිකානු තානාපතිවරයෙකු පැමිණෙන තෙක් නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි ජේන් හොවෙල් මහත්මිය, වැඩ බලන තානාපති ධුරයේ කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

Share