ශ්‍රී ලංකාවාසී අප මෙවර නත්තල සමරන්නේ ජාතියක් ලෙස ඉතා වේදනාකාරී ස්වභාවික ව්‍යසනයකට මුහුණදීමෙන් පසුවයි

මේ අතර ශ්‍රී ලංකාවාසී අප මෙවර නත්තල සමරන්නේ ජාතියක් ලෙස ඉතා වේදනාකාරී ස්වභාවික ව්‍යසනයකට මුහුණදීමෙන් පසු අධිෂ්ඨානයෙන් යළි ගොඩනැඟෙමින් සිටින තීරණාත්මක අවස්ථාවක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නත්තල් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

කිතුනු දහමේ මෙන්ම සියලු ආගම්වල ඉගැන්වීම වන අසල්වැසියා විපතට පත් වූ අවස්ථාවේදී අත්නොහැර සහෝදරත්වයෙන් වැලඳ ගැනීමේ උතුම් මනුසත් ගුණාංගය සහ නොසැලෙන අධිෂ්ඨානය පසුගිය ව්‍යසනය හමුවේ මෙරට ජනතාව නැවත නැවතත් පසක් කර තිබෙන බව ජනාධිපතිවරයා සිහිපත් කරනවා.

යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දෙමින් අභියෝග ජය ගෙන රටක් ලෙස එක්ව නැගී සිටිමු’යි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නත්තලට සුබ පැතුම් එක්කරමින් සියලු දෙනාට ආරාධනා කරනවා.

ස්වභාවික ව්‍යසනය හේතුවෙන් මෙවර සීතල දෙසැම්බරය උදාවූයේ වෙනදා තරම් ප්‍රීතියකින් හෝ උද්‍යෝගයකින් නොවන බව සිහිපත් කරන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය, නත්තලේ සැබෑ අරුත පෙරදැරිව, මෙරට ජනතාව සියලු භේද දුරලා විපතට පත් තම සහෝදර ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූයේ ජේසුස් වහන්සේ දේශනා කළ ‘අනෙකාට ප්‍රේම කිරීමේ’ උතුම් ධර්මතාව ලොවටම පෙන්වා දෙමින්.

රට යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා සියලු ජන කොටස් ඒකායන පරමාර්ථයකින් සහ සාමූහික වගකීමකින් දේශයේ අනාගතය වෙනුවෙන් එකමුතු විය යුතු අවස්ථාවකට දැන් එළැඹ ඇතැයි ද අග්‍රාමාත්‍යවරිය පවසනවා.

ඇය සිය නත්තල් සුබ පැතුම් පණිවුඩයෙන් අවධාරණය කරන්නේ සැබෑ වෙනසක් බලාපොරොත්තු වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අපේක්ෂාවන් කිසිදු අයුරකින් කඩ වීමට ඉඩ නොතබා, ඔවුන් අපේක්ෂා කරන “අලුත් රටක්” ගොඩනැගීමේ ඒකායන අරමුණ වෙනුවෙන් නිරන්තරයෙන් වෙහෙසෙන බවයි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් අති උත්කර්ෂයෙන් සමරනු ලබන නත්තල යනු විනාශය අතරින් බලාපොරොත්තුව උපදින සමයක් ලෙස හැඳින්විය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සිය නත්තල් දින පණවිඩය නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වාදෙන්නේ මෙවර නත්තල උදාවන්නේ ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පසු ජාතිය මුහුණදුන් වේදනාකාරී අත්දැකීම් මතකයේ තබාගෙන බවය.

මේ අවස්ථාවේ අපට අවශ්‍ය වන්නේ බිඳවැටීම් මත පදනම් වු දේශපාලනය නොව ජනතාවගේ වේදනාවට පිළිතුරු දෙන රටේ අනාගතය ගොඩනගන සාධාරණ සහ දයාවෙන් පිරි රටක් ගොඩනැගීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නත්තල් දින පණිවුඩය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

Share