ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි වසර ලෙස 2025 වසර අද පත් වුණා.
ඒ අනුව ඉන්දියාවේ සිට පැමිණි තිදෙනෙකුගෙන් යුත් පවුලක් 23 ලක්ෂ 33,796ක් වු 2018 වසරේ සංචාරක පැමිණීම් වාර්තාව අභිබවවා ගියා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව අපේක්ෂා කළ සංචාරකයින් මිලියන තුනක ඉලක්කයට මේ වසර තුළ ළඟා වීමට හැකි වන්නේ නැහැ.
වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන 2,333,797 ක් දක්වා ඉහළ නැංවුණේ ඉන්දියාවේ තිරුවානදපුරම් සිට මහාචාර්ය ෆෙරෙයිරා පවුල මෙරටට පැමිණීමත් සමගයි.
UL 162 යානයෙන් අද පෙරවරුවේ මෙරටට පැමිණි ඔවුන් පිළිගැනීමට විශේෂ උත්සවයක් ද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සංවිධාන කර තිබුණා.
මහාචාර්ය ෆීලික්ස් ෆෙරෙයිරා, ඔහුගේ බිරිඳ රීනා ෆර්නැන්ඩස් සහ දියණිය වන ඈන් ක්රීස්ටීන් මහත් හරසරින් පිළිගනු ලැබුවා.
ඉන්දියාව, ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්රයේ ඉහළම වෙළෙඳ පොළ ලෙස වසර පුරාම පැවතියා.
දෙසැම්බර් 25 වැනිදා වන විට ඉන්දියාවෙන් මෙරටට සංචාරකයින් 519,816 දෙනෙක් පැමිණ තිබෙනවා.
මෑතකදී නිකුත් වූ MakeMyTrip දත්ත වාර්තාවලට අනුව, මේ වසරේ දී ඉන්දියානු සංචාරකයින්ගේ ප්‍රියතම ගමනාන්ත ලැයිස්තුවේ ද ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබුණා.
207,510 දෙනෙක් ලෙස මේ වසරේ දෙවැනියට වැඩිම සංචාරක පැමිණීම් සටහන් වන්නේ එක්සත් රාජධානියෙන්.
ඊට අමතරව රුසියාව, ජර්මනිය, චීනය, ප්‍රංශය සහ ඔස්ට්‍රේලියාවෙන් ලක්ෂය ඉක්මවා සංචාරකයින් පැමිණ තිබෙනවා.
මීට පෙර මෙරටට වැඩිම සංචාරකයින් පැමිණි වසර ලෙස සටහන් වී තිබුණේ 2018 වසරයි.
එම වසරේ සංචාරකයින් 2,333,796 දෙනෙක් මෙරටට පැමිණ තිබුණා.
ඉන් පසු සිදු වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හා එ තුළ පැන නැගුණු දේශපාලනික අස්ථාවර බව හේතුවෙන් මෙරට සංචාරක ක්ෂේත්රය බරපතළ ලෙස කඩා වැටුණා.
යළි සංචාරක ක්ෂේත්රයේ ප්‍රගතියක් ඇති වුණේ 2023 වසරේ සිටයි.
මේ වසර මුලදී සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ශුභවාදී තත්ත්වයන් යටතේදී සංචාරකයින් මිලියන තුනක් ඉලක්ක කර තිබුණා.
එතරම්ම ශුභවාදී නොවන සාමාන්‍ය තත්ත්වයන් යටතේදී සංචාරකයින් 2,676,596 දෙනෙකු රටට පැමිණෙනු ඇතැයි ඇස්තමේන්තු කර තිබූ අතර නරකම තත්ත්වයන් යටතේ වුවද සංචාරකයින් 2,415,000 දෙනෙකුගේ පැමිණීම සිදු වනු ඇති බව සංචාරක සංවර්ධන අධිකාරියේ ඇස්තමේන්තුවයි.
නමුත් සැබෑ තත්ත්වය වසර මුලදී ඉලක්ක කර තිබෙන නරකම තත්ත්වයටත් වඩා අඩු වී තිබෙනවා.
ඒ අනුව ලබන වසරේ දී මෙරට සංචාරක කර්මාන්තය සඳහා වඩාත් තිරසර මූලෝපායන් සමග නව වැඩපිළිවෙළක් දියත් කිරීම අනිවාර්ය අවශ්‍යතාවක්.
මේ අතර U.S. News & World Report මගින් 2026 වසරේදී “ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන” නම් කිරීමේදී ප්‍රවේශ වීමේ පහසුව සහ දැරිය හැකි පිරිවැය, සංස්කෘතික සහ ආහාරපානවල ඇති පොහොසත් බව, සංචාරක ආකර්ෂණ ස්ථාන සහ සංචාරකයින්ගේ ප්‍රසාදය යන කරුණු සලකා බලා තිබෙනවා.
ලෝක මට්ටමේ වෙරළ තීරයන්, පුරාණ යුනෙස්කෝ උරුම ස්ථාන සහ ප්රමුඛ වනජීවී සෆාරි අත්දැකීම් ලබා ගැනීමට ඇති හැකියාව ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයට ශ්‍රේණිගත කරමින් මෙම වාර්තාව මගින් විශේෂයෙන් අගය කර තිබෙනවා
ශ්‍රී ලංකාව තවදුරටත් කලාපීය සංචාරකයින් සඳහා ද්විතියික නැවතුමක් නොව “තනි ගමනාන්තයක්” බවට පරිවර්තනය වී ඇති බව විශේෂඥයින්ගේ මතයයි.
මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් වඇත්තේ ජපානයේ ෆුජි කන්දයි.
ටෝකියෝ , පිලිපීනයේ පලවාන්,සහ දකුණු කොරියාවේ සෝල් පිළිවෙළින් ශ්‍රී ලංකාවට ඉහළින් පසුවනවා.




