සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් ලබා ගැනීමට පකිස්තානය සමත් වුණා.
ඒ අනුව පාකිස්තානය තරග තුනකින් සමන්විත තරගාවලිය 1 – 0 ක් ලෙස පෙරමුණ ගත්තා. රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.
මෙරට 218 වැනි එක්දින ක්‍රීඩකයා ලෙස කමිල් මිෂාර මෙම තරගයේ දී එක්දින වරම් දිනාගත්තා.
පාකිස්තාන ලකුණු පුවරුව ලකුණු 14ක් ලෙස දිස්වෙද්දී පළමු කඩුල්ල ලෙස සයිම් අයුබ් ලකුණු 6කට දවා ගන්නට අසිත ප්‍රනාන්දු සමත් වුණා.
වනිඳු හසරංග මුල් පෙළ පිතිකරුවන් කඩුලු 3ක් දවාලමින් පාකිස්තානයට ප්‍රබල අභියෝගයක් එල්ල කළා.
නමුත් පාකිස්තානය බේරාගැනීමට සල්මන් අලි ආගා ඉදිරිපත් වුණා.
අතිශය විශ්වාසයෙන් පන්දුවට පහරදුන් මැද පෙළ පිතිකරු ආගා අලංකාර ලකුණු 105ක් ලබා ගත්තා.
ඔහුට අනගි සහයෝගයක් දුන් හුසේන් තලාත් ලකුණු 62ක් රැස් කළා.
මෙම පිතිකරුවන් දෙදෙනා එක්ව ලකුණු 138ක තීරණාත්මක සබඳතාවක් ගොඩනගා, පාකිස්තානයට කඩුලු 5ක් දැවී ලකුණු 299 තරගකාරී ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට මග පෑදුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 293ක් පමණයි.
වනිඳු හසරංග ඔහුගේ විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතාව පෙන්වමින් වේගවත් අර්ධ ශතකයක් 59 ලබා ගත්තද, ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් වූයේ නැහැ.
පකිස්තානය වෙනුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක හාරිස් රවුෆ් කඩුලු 4ක් දවා ගත්තා.
මෙම ජයග්‍රහණයත් සමඟ පකිස්තානය තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණේ පසුවෙනවා.
දෙරට අතර දෙවැනි එක්දින තරගය හෙට රාවල්පිණ්ඩිහිදී පැවැත්වීමට නියමිතයි.





