වෛද්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව

රජයේ වෛද්‍ය නිලධාරීන් දිවයින පුරා සියලුම රෝහල්වල ආරම්භකළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මකයි. වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවාවේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදුන් ලිඛිත එකඟතා මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව පවසමිනුයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වුණේ.

රජයේ වෛද්‍ය නිලධාරින් දිවයින පුරා රෝහල්වල ඊයේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මක වනවා. සිය ගැටලුවට විසදුම් ලබාදෙන බවට වූ ලිඛිත එකඟතා ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පසුගිය 23 වැනිදාත් පැය 48ක දීප ව්‍යාප්ත සංකේත වර්ජනයක් ආරම්භ කළද ඊට නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙනුයි ඔවුන් යළිත් මෙම අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී ඇත්තේ. ඒ අනුව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය තුළින් රෝහල් පද්ධතිය තුළ නොමැති ඖෂධ ඔසුසැල්වලින් මිලදී ගැනීමට අදාළ තුණ්ඩු නිකුත් කිරීම, රෝහල් තුළ සිදුකරගත නොහැකි රසායනාගාර සේවා බාහිර ස්ථානවලින් සිදුකර ගැනීමට අදාළ නිර්දේශ නිකුත් නොකිරීම ඇතුළු සේවා 5කින් වෛද්‍යවරුන් ඉවත් වී තිබෙනවා.

ප්‍රතිකාර සඳහා සේවා ලබාගැනීමට රෝහල වෙත පැමිණි ජනතාව මෙම වර්ජනය හේතුවෙන් අදත් පීඩාවට පත්වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ අතර මෙම වෘත්තිය ක්‍රියාමාර්ග සඳහා සිය සංගමයේ නියෝජිතයින් සහය නොදක්වන බවයි නිවේදනයක් නිකුත් කරමින් විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ. පසුගිය දිනවලත් ක්‍රියාත්මක වූ වෛද්‍ය වර්ජනය තුළදීත් ජනතාවට සේවා සැපයීමට සහය වූ සිය සංගමයේ සියලුම සාමාජිකයින්ට කෘතඥතාව පළකරන බවත් අදාළ නිවේදනයේ සඳහන්.

මේ අතර රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයද හෙට උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවන බව එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළා.

Share