විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කෙරෙයි

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කෙරුණා.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය නිල විකාශන අයිතිය හිමිව ඇත්තේ ටී.වී සුප්‍රීම් නාළිකාවටයි.
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විතයි.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් මෙවර සංචිතයේ පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, කමිල් මිශාර, පවන් රත්නායක, ජනිත් ලියනගේ සහ කමිදු මෙන්ඩිස් පිතිකරණ අංශය සඳහා නම් කර ඇති අතර වනිඳු හසරංග , දුනිත් වෙල්ලාලගේ සහ මහීශ් තීක්ෂණ දඟ පන්දු යවන්නන් ලෙසත් දුෂ්මන්ත චමීර, මතීශ පතිරණ සහ එශාන් මාලිංග වේග පන්දු යවන්නන් ලෙසත් මෙවර ලෝක කුසලාන සංචිතයට ඇතුළත්.
එංගලන්තය සමග පැවති පළමු T20 තරගය සඳහා නම් කර සිටි ධනංජය ද සිල්වා ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වන්නේ නැහැ.
තරගාවලිය අතරතුර සංචිතයට කැඳවූ කමිඳු මෙන්ඩිස් ලෝක කුසලාන සංචිතයට ඇතුළත්.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අයර්ලන්ත කණ්ඩායම සමඟ මේ මස 08 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
මේ අතර මෙවර ICC T20 ලෝක කුසලාන තරගාවලියේ ශූරයින් සඳහා පිරිනැමෙන කුසලානය අද උදෑසන 7.30ට දඹුල්ල නගරයේ සිට යාපනය නගරය දක්වා ගමන් ඇරඹුවා.
යාපනයට කුසලානය රැගෙන එන අතරතුර අද පෙරවරුවේ මිහින්තලේ, වවුනියාව සහ කිලිනොච්චිය යන නගරවලදීත් කුසලානය සමඟ ජායාරූප ලබා ගැනීමේ අවස්ථාව ක්‍රිකට් ප්‍රේක්ෂකයින් හට උදා කර දී තිබුණා.
යාපනයට නගරයේ දී හිමි වූයේ උත්කර්ෂවත් පිළිගැනීමක්.
ලෝක කුසලානය නල්ලූර් කෝවිල, දොරෙයිඅප්පා ක්‍රීඩාංගණය, යාපනය කොටුව, යාපනය මහජන පුස්තකාලය යන ස්ථාවල දී ප්‍රදර්ශය කෙරුණා.
මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2026 ICC T20 ලෝක කුසලානයේ නිල ගීතය එළිදක්වා තිබෙනවා.
එය “Feel the Thrill” (ෆීල් ද ත්‍රිල්) ලෙස නම් කර ඇති අතර මෙම ගීතය රචනා කර ගායනා කරනු ලබන්නේ ඉන්දියානු සංගීත නිර්මාපකයෙකු සහ ගායකයෙකු වන අනිරුද් රවිචන්දර් විසින්.
“ජාතීන් එකිනෙකා ගැටෙන විට, ක්‍රියාව දෙස බලා සිටිනවාට වඩා එය අත්විඳිය යුතුයි” යන තේමාව ඔස්සේ මෙම ගීතය රචනා කර තිබීම විශේෂත්වයක්.

Share