වැඩිහිටි නිවාස නියාමනය සඳහා මාර්ගෝපදේශ මාලාවක්

වැඩිහිටි තැනැත්තන් සඳහා රැකවරණය සපයනු ලබන මධ්‍යස්ථාන නියාමනය සඳහා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාමේදී නියමිත ප්‍රමිතිවලට අනුගත නොවීම නිසා ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය මඟ හරවා ගැනීම මෙහි අරමුණයි.

ශ්‍රී ලාංකේය වැඩිහිටි පරපුරේ සුබසාධනය උදෙසා ඉදිවූ කතරගම Silver Age Centre -වැඩිහිටි සත්කාර, පුහුණු සහ පර්යේෂණ මධ්‍යස්ථානය පසුගියදා ජනතා අයිතියට පත් කෙරුණා.
මේ සඳහා වැඩිහිටියන්ගේ සුබසාධනය සඳහා වූ ජාතික අරමුදලින් කළ ආයෝජනය රුපියල් මිලියන 460ක්.
පවත්නා අර්බුදයකාරි තත්වය යටතේ මෙම විවෘත කිරීම උත්සවකින් තොරව අවම පිරිවැයකින් සිදු කිරීමත් විශේෂත්වයක්.
ඊට සමගාමීව වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය සඳහා සකසන ලද නව නියෝග සහ මාර්ගෝපදේශ කෙටුම්පත ජාතික සභා සාමාජිකයින් විසින් අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගැන්වීමද සිදු කෙරුණා.
එම කෙටුම්පතට මහජන අදහස් ලබා ගැනීම සිදු වන අතර www.nse.gov.lk වෙබ් අඩවිය ඔස්සේ අප්‍රේල් 14 වැනිදාට පෙර අදහස් ලබා දිය හැකියි.
මෙම නියෝග හා මාර්ගෝපදේශ නීතිගත කිරීම තුළින් වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික අංශය දිරිමත් කරමින් අවශ්‍ය පහසුකම් සලසන අතරම ඒවා ලියාපදිංචිය හා නියාමනය තුළින් රජයේ කාර්‍යභාරය විධිමත් කිරීමට අවස්ථාව හිමිවනු ඇති බව වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ සභාපති සම්පත් මන්ත්‍රිනායක මහතා පවසනවා.

Share