වැඩතහනමට ලක්වූ චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට

පසුගිය දා වැඩ තහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණියා.
ඒ් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහායි.

ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නි‌යෝජ්‍ය මහ‌ලේකම් ධුරයේ කටයුතු කරමින් සිටි චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමට පසුගිය ජනවාරි 23 වැනි දා පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පියවර ගෙන තිබුණා.
චමින්ද කුලරත්න මහතා පූර්ව සේවා කාලය සම්බන්ධයෙන් වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම මගින් පාර්ලිමේන්තුවේ නිලධාරීන් නොමග යැවීමට උත්සහ කිරීම හා එක් අවුරුදු වැඩ බැලීමේ කාලයකට යටත්ව පත්වීමක් ලබා ගැනීමට කටයුතු කිරීම හා එම තනතුරට නියමිත වැටුප් මට්ටමට වඩා ඉහළ වැටුප් තලයකට අයත් වැටුප් ලබා ගැනීම මගින් රජයට මූල්‍යමය පාඩුවක් සිදු කිරීම ඔහුට එල්ල වූ චෝදනායි.
එවන් පසුබිමක ඔහු කතානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
කතානායකවරයා, තමාට නිල බලයෙන් හිමි වාහන දෙක වෙනුවට වාහන තුනක් භාවිත කරමින්, කතානායකවරයාට හිමි ඉන්ධන දීමනාවට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි ඉන්ධන දීමනාව ද ලබාගන්නා බවත් පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය සතු උපකරණ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කටයුතු සඳහා යොදාගන්නා බවත් අදාළ පැමිණිල්ලේ සඳහන්.
එසේම කතානායකවරයා තමාට දිවා ආහාරය ලබාගැනීම වෙන්කර ඇති කාමරයේ සිය පෞද්ගලික ලේකම්වරයා සමග ආහාර ලබා ගන්නේ ඒ වෙනුවෙන් කතානායකවරයාගේ අමුත්තෙකු වෙනුවෙන් ගෙවිය යුතු අමතර මුදල් නොගෙවා බව ද චමින්ද කුලරත්න මහතා චෝදනා කරනවා.
කතානායක ජගත් වික්‍රමරත්න මහතා තමාට නිල බලයෙන් හිමි කතානායක නිල නිවසට අමතරව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශශයට අයත් මහල් නිවාස සංකීරණයක නිවසක් තමා නමින් වෙන්කර ගෙන භාවිත කරන බවත්, කතානායක නිල නිවසේ බඩු බාහිරාදිය අවසරයකින් තොරව බැහැරට ගෙන යන බවටත් අදාළ පැමිණිල්ලේ සඳහන්.
කතානායකවරයාගේ මෙම නීති විරෝධී කටයුතුවලට විරුද්ධ වීම සහ තොරතුරු දැනගැනීමේ පනත යටතේ කතානායකවරයා සම්බන්ධයෙන් ඉල්ලා සිටින තොරතුරු ලබාදිය යුතු බවට තමා නිර්දේශ කිරීම හේතුවෙන් කතානායකවරයා තමා සමග අමනාප වී තමාගේ වැඩ තහනමට අනීතික ලෙස පියවර ගෙන ඇති බව ද චමින්ද කුලරත්න මහාතා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමට ඉදිරිපත් කළ ලිපියේ දැක්වෙනවා.

Share