“ව්‍යවස්ථා සභාව තුළ පුළුල් පිළිගැනීමක් ඇති ස්වාධීන අපේක්ෂකයකු පත්කිරීම අත්‍යවශ්‍යයි”

පක්ෂග්‍රාහී චරිතයකට වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ පුළුල් පිළිගැනීමක් ඇති ස්වාධීන අපේක්ෂකයකු පත්කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරනවා.

සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියට අනුව ස්ථිර විගණකාධිපතිවරයකු පත්කිරීමට වහාම පියවර ගන්නා ලෙසයි. පසුගිය අප්‍රේල් මාසයේ සිට පුරප්පාඩු වී තිබෙන විගණකාධිපති තනතුරට ස්ථිර වශයෙන් නිලධාරියෙකු පත්කිරීමට දීර්ඝ කාලයක් පුරා අසමත් වීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

විගණකාධිපති තනතුර පුරප්පාඩුව තිබීම ජාතික විගණන කාර්යාලයේ ඵලදායී ක්‍රියාකාරිත්වයට සහ රාජ්‍ය ආයතන හරහා වගවීම සහතික කිරීම සඳහා බරපතල බලපෑම් ඇති කරන බව එම සංගමය අනතුරු අඟවනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ගෝලීය කණ්ඩායම්වල සහය ඇතිව ශ්‍රී ලංකාව මූල්‍ය අර්බුදයෙන් ගොඩඑමින් පවතින බැවින් විගණකාධිපතිවරයකු පත්කිරීම හදිසි අවශ්‍යතාවක් බවයි.

එමෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානියට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවට වෙනත් රටවලින් අරමුදල් ලැබෙමින් පවතින බව පෙන්වා දෙන එම සංගමය මෙම සන්දර්භය තුළ, රාජ්‍ය ආයතනවල මූල්‍ය වගවීම සහ විනිවිදභාවය අතිශයින් වැදගත් බව අවධාරණය කරනවා.

විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් මෙතෙක් නම්කරන ලද පුද්ගලයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බහුතරයකගේ පිළිගැනීම ලබාගෙන නොමැති බව පෙන්වාදෙන නීතීඥ සංගමය, පක්ෂග්‍රාහී චරිතයකට වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ පුළුල් පිළිගැනීමක් ඇති ඔප්පු කළ නිපුණතාවය, අඛණ්ඩතාව සහ ස්වාධීනත්වය ඇති අපේක්ෂකයකු පත්කිරීම අත්‍යවශ්‍ය බව සිය ලිපියෙන් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(1) වගන්තියට අනුව ස්ථිර විගණකාධිපතිවරයකු පත්කිරීමට වහාම පියවර ගන්නා ලෙසයි.

එමෙන්ම ජාතික විගණන කාර්යාලයේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය පාලනය තුළ පුරවැසියන්ගේ සහ අන්තර්ජාතික හවුල්කරුවන්ගේ විශ්වාසය පවත්වාගැනීමට මෙම පත්වීම අත්‍යවශ්‍ය බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

Share