වතු සේවක වැටුපට තැබූ අත්සන

වතු සමාගම් වල සේවකයන්ගේ දෛනික වැටුප රු. 1,750ක් දක්වා වැඩි කිරීමට අදාළ ගිවිසුම් ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ රජය අතර අද අත්සන් තැබුණා.
ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට වතු සමාගම් සේවකයින්ගේ දිනපතා වැටුපට තවත් රුපියල් 400ක් එක් වනු ඇති.
එලෙස ජනවාරි මාසයේ සිට දිනපතා වැඩිවන රුපියල් 400ක මුදල පෙබරවාරි මස 10 වනදා ගෙවීමට කටයුතු කරන බවයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් ප්‍රභාත් වන්ද්‍රකීර්ති මහතා සඳහන් කලේ.

2026 වසරේ අයවැය යෝජනාව අනුව දැනට රුපියල් 1,350ක දෛනික වැටුපක් ලබන වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 400කින් ඉහළ නැංවීමට තීරණය කෙරුණා
කෙසේ වෙතත් මෙම වැටුප් වැඩි කිරීමට මෙරට ප්‍රධාන පෙලේ වතු සමාගම් කිසිවක් එකඟ වූයේ නැහැ.
ඒ නිසාවෙන් මෙම වැටුප් වැඩිවීම සඳහා රුපියල් 200ක් වැවිලි සමාගම් මඟින් සහ ඉතිරි රුපියල් 200 රජය මඟින් ලබා දෙන බවට එකඟතාවක් ඇති වූයේ දීර්ඝ සාකච්ඡාවට ගණනාවකට පසුවයි.
ඒ අනුවයි වතු සේවකයින්ගේ දෛනික වැටුප වැඩි කිරිමට අදාළව ප්‍රාදේශිය වැවිලි සමාගම් 22ක් සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ අතර ගිවිසුම්ගත වීම අද සිදු කෙරුණේ.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ දී සිදු කෙරුණු මෙම අත්සන් තැබීමේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, පඩිපාලක සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙම ගිවිසුම් ප්‍රකාරව වැවිලි සමාගම් විසින් ලබා දී ඇති සේවක බැංකු ගිණුම් තොරතුරු අනුව රුපියල 200ක රජයේ දීමනාව බැංකුගත කිරීමේ කටයුතු ද සූදානම් කර තිබෙනවා.
කෙසේ වෙතත් රජය විසින් මෙම රුපියල් 200ක දීමනාව වැවිලි සමාගම් වෙත ලබා දුන්නද එම සමාගම් හරහා සේවකයින්ට විනිවිදභාවයකින් යුතුව මෙම මුදල් ගෙවීම් සිදුකීරිම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් තුළ ඇත්තේ ගැටලු සහගත තත්ත්වයක්.
මේ අතර මෙරට තුළ තේ නිෂ්පාදනයේ වැඩිම කොටසකට හිමිකම් කියන කුඩා තේ වතු හිමියන් වෙත මේ දීමනාව හිමි වන්නේ නැහැ.
ශ්‍රි ලංකාවේ සමස්ථ තේ නිශ්පාදනයෙන් 70%ක පමන භාගයකට හිමිකම් කියන්නේ කුඩා තේ වතු හිමියන්.
මෙම දීමනාව ලබාදීමේදී එලෙස කුඩා තේ වතු හිමියන් නොසලකා හැරීම සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී විරුද්ධ පක්ෂය ද ඇතුළුව විවිධ පාර්ශ්ව රජයෙන් ප්‍රශ්න කළ ද තාමත් රජය ඒ සම්බන්ධයෙන් සිටින්නේ නිහඬ පිළිවෙතක් දරමින්.

Share