වතු කම්කරුවන්ට අයවැයෙන් සහනයක්

වතු කම්කරු වැටුප් වැඩි කිරීම සඳහා රජයේ අරමුදල්වලින් දීමනා ලබාදීම නීත්‍යනුකූල ද යන ගැටලුව මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් මාතෘකාවක් වී තිබෙනවා.
එම යෝජනාවට පක්ෂව සහ විපක්ෂව විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර පවා බෙදීම් ඉස්මතුව ඇති බවයි ඊයේ පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් මතුවූ විවාදයේ දී දක්නට ලැබුනේ.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 1,750ක් දක්වා ඉහළ දැමීමට රජය මැදිහත් වන බවත් ඒ සඳහා එක් වතු කම්කරුවෙකු වෙනුවෙන් රුපියල් 200ක පැමිණීමේ දීමනාවක් ලබා දෙන බවත් 2026 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
ජනාධිපතිවරයා වතු කම්කරුවන් වෙනුවෙන් රජයෙන් එවැනි දීමනාවක් ලබාදීමට තීරණය කළේ වතු කම්කරු වැටුප් වැඩි කරන ලෙස වතු හාම්පුතුන් සමග අවස්ථා කිහිපයකදී කරන ලද සාකච්ඡාවලින් පසුවයි.
2024 වසරේ නොවැම්බරයේ ඉදිරිපත් කළ 2025 වසර සඳහා අයවැය යෝජනා මගින් ද වතු කම්කරු වැටුප් වැඩි කිරීමට ද රජය යෝජනා කළත් වසර ගෙවී යන තෙක්ම එම යෝජනාව යථාර්ථයක් කිරීමට රජය සමත් වූයේ නැහැ.
එවන් පසුබිමක් වතු කම්කරු වැටුප් වැඩි කිරීම සඳහා රජයෙන් දිනකට රුපියල් 200ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කළත් මෙම යෝජනාවේ ප්‍රායේගික බව සහ නීත්‍යානුකූල බව සම්බනධයෙන් මේ වනවිට ගැටලු මතු වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීත් ප්‍රශ්න කෙරුණා.

මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාට, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවට සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලිපියක් යොයොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රොහිණී කවිරත්න ද පසුගිය දා ඉල්ලා තිබුණේ මෙම අයවැය යෝජනාවේ නීත්‍යානුකූල භාවය විමර්ශනය කරන ලෙසයි.
කෙසේ වෙතත් අද කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් මන්ත්‍රීවරිය සඳහන් කළේ වතු කම්කරුවන්ට අවම වශයෙන් රුපියල් 2000ක දෛනික දීමනාවක් ලැබිය යුතු බවයි

මේ අතර පසුගිය දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජික දුමින්ද නාගමුව අවධාරණය කළේ වතු හාම්පුතුන්ගේ මැසිවිලි නොතකා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් පමණක් වතු කම්කරු දෛනික වැටුප ඉහළ නැංවීමට ආණ්ඩුවට හැකියාව ඇති බවයි

Share