පාසලේ ගණිත ගුරුවරයාගෙන් තමාට සිදුවූ ලිංගික අතවරයක් සම්බන්ධයෙන් පැමිණිලි කොට ඒ ආශ්රයෙන් එල්ලවූ අපවාදයන් හමුවේ සියදිවි නසාගත් සිසුවියගේ මරණය ආශ්රිත පොලිස් විමර්ශන මන්දගාමී බවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් චෝදනා කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ දැරිය සියදිවි නසා ගැනීමේ සිද්ධිය ආශ්‍රිතව පැමිණි විරෝධතා හමුවේ අගමැතිනිය, කාන්තා හා ළමා කටයුතු ඇමතිනිය ප්රමුඛ බොහෝ බලධාරීන් මෙම විමර්ශන කඩිනමින් අවසන් කොට වැරඳිකරුවන්ට දඬුවම් පැමිණවීම වෙනුවෙන් ඉදිරිපත් වුවත් මේ වනවිට එම උද්යෝගය අවසන් වී ඇති බවයි.
කොළඹ ප්‍රධන පෙළේ පාසලක 11 ශ්‍රේණියේ සිසුවියක පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී සියදිවි නසාගෙන තිබුණේ, එයින් මාස 05කටත් වැඩි කාලයකට පෙර පාසලේදී මුහුණදීමට සිදුවූ ලිංගික අතවර සිද්ධියට යුක්තිය නොලබමින්.
මෙම ඛේදවාචකය පිළිබඳව හෙළි දරව් වීමෙන් පසු නැගුණු ආන්දෝලනය හමුවේ බම්බලපිටිය පොලීසිය මගින් සිදුවීමට අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගත්ත ද දින දෙකක් වැනි කෙටි කාලයකදී ඔහු අධිකරණයෙන් ඇප ලබා නිදහස්ව යළි එම පාසලටම ඉගැන්වීමට පැමිණෙන්නේ, පැමිණිල්ල ගොනු කර තිබූ දුර්වල ස්වභාවය නිසා බවටයි චෝදනා එල්ල වූයේ
මේ සිදුවීමට එරෙහිව ලංකා ගුරු සංගමය ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරීන් පාසල ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කිරීමෙන් පසු සිදුවීමට අදාළව රජයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබුණා
ඒ් අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරීමටත් මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට විධිවිධාන යොදන බවටත් අධ්‍යාපන ඇමතිවරිය ඇතුළු බලධාරීන් සහතික වුණා
එහෙත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් චෝදනා කරන්නේ මෙම සිදුවීමට අදාළ චූදිත ගුරුවරයා පාසල් පැමිණීමේ අත්සන් ලේඛනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කළේ ඊයේ නඩු දිනයේ බවයි.
එසේම මෙම ලිංගික අපයෝජන සිදුවීම සැගවීමට උත්සාහ කළ පාසලේ විදුහල්පතිනිය නඩුවේ සැකකාරියක ලෙස නම් කිරීමට මෙතෙක් කටයුතු කර නැති බවට ද ඔහු චෝදනා කරනවා.
යොවු න් දැරියක ජීවිතයෙන් වන්දි ගෙවූ ඛේදවාචකයින් පසුවත් අධ්‍යාපන පද්ධතිය තුළ සැඟව සිටින අපයෝජකයින්ට සහ ඔවුන්ගේ සහායකයින්ට එරෙහිව පියවර ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතන මෙතරම් පැකිලෙන්නේ නම් දැරියන් සවිබල ගන්නවන්නට අනන්තවත් සැලසුම් හදන ආණ්ඩවල අනාගත සැලසුම් ගැන අපට විශ්වාසය තැබිය හැකිද?





