ලාෆ් ගෑස් මිල ඉහළ නංවයි

ලාෆ් ගෑස්වල මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 4630ක්. කෙසේ වෙතත් මිළගනන් ඉහල දැමුවද තවමත් වෙළඳපොළේ ලාෆ් ගෑස් මිලදී ගැනීමට නැහැ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල රුපියල් 300කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 4630ක්.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 120කින් ඉහළ දමා තිබෙන අතර එහි නව මිල වන්නේ රුපියල් 1862ක්.
ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා පැවසුවේ ලබන 17 සහ 19 යන දෙදින තුළ තවට්ග් ගෑස් මෙට්‍රික් ටොන් 15,000ක් හම්බන්තොට වරායට පැමිණීමට නියමිත බවයි.
ඒ අනුව හිඟයතාවයකින් තොරව ගෑස් අඛණ්ඩව ලබාදීමට හැකි බවද ඔහු සඳහන් කළා.

මේ අතර 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් සමාගමද සිය මිල ගණන් සංශෝධනය කරනු ලැබුවා.
ඒ අනුව ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ නංවනු ලැබූ අතර එහි නව මිල දැක්වුනේ රුපියල් 3990ක් ලෙසින්.
එසේම, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් ඉහළ නංවනු ලැබුවා.
අප කළ විමසීමකදී ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා සඳහන් කළේ මාර්තු 17 වන විට ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් මාලදිවයිනට පැමිණීමට නියමිත අතර මෙම තොගය සිංහල අලුත් අවුරුද්ද වන තෙක් ප්‍රමාණවත් බවයි.
එම ගෑස් තොග ඇමෙරිකාවේ සිට ආරක්ෂිත මුහුදු මාර්ගයන් ඔස්සේ මාලදිවයිනට පැමිණෙන බවද ඔහු සඳහන් කළා.
එමෙන්ම අද දිනයේ මෙට්‍රික් ටොන් 3900 ක් සහ 14 සහ 15 යන දෙදින තුළ තවත් ටොන් 3900 ක්ද පැමිණීමට නියමිත බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේවෙතත් මෙලෙස ගෑස් සහ ඉන්ධන මිල ගණන් දිනෙන් දින ඉහළයාම හේතුවෙන් ජනතාව පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.

මේ අතර නීති විරෝධී ලෙස ඩීසල් තොග රැස්කර සන්තකයේ තබාගත් සැකකරුවන් සිව් දෙනෙකුව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරකට අනුව ඊයේ සවස් කාලයේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බියගම පහළ ප්‍රදේශයේදී සෝදිසි කිරීමක් සිදුකර තිබෙනවා.
එහිදී නීති විරෝධී ලෙස රැස්කර තබාගන්නා ලද ඩීසල් ලීටර් 19,060ක් අඩංගු බවුසර් රථ 02 ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වාහන වලින් ඉන්ධන ලබා ගැනීමට යොදා ගත් මෝටර් සවිකර ඇති බට 02 ක්, යකඩ බැරල් 16 ක් හා මුදල් රුපියල් 381,000ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share