ලබන සඳුදා සිට විදුලිබල මණ්ඩලය අහෝසියි

ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කරමින් සමාගම් 6ක් ආරම්භ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් වන අතර එය ලබන 09 වැනිදා සිට බලපැවැත්වෙනවා.

ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය කොටස්කර නව සමාගම් ප්‍රකාශයට පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර, සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් සහ විදුලිබල මණ්ඩලය සතු සම්පත්වල සුරක්ෂිත බව වෙනුවෙන් වහා ඉටුකළ යුතු ඉල්ලීම් 08ක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුකරන ලෙස පසුගියදා විදුලි සේවක වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටියා.
කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් සාධනීය විසඳුමක් ලබාදීමට බලශක්ති අමාත්‍යාංශය අපොහොසත් වීම හේතුවෙන් පසුගිය 26 වැනිදා විදුලි සේවක වෘත්තීය සමිති විසින් මධ්‍යාහ්න 12.00 සිට පැය හයක කාලයක් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්ද ක්‍රියාත්මක කළා.
ඔවුන් දිගින් දිගටම කියා සිටියේ සිය ඉල්ලීම් ඉටුනොකළ ගැසට් නිවේදනයක් නිකුත් කළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරාදෙමින් අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ එවන් පසුබිමකයි.
එම ගැසට් නිවේදනය මාර්තු 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබෙනවා.
ගැසට් පත්‍රයට අනුව, විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසා ඇති බව සඳහන්.
ඒ අනුව, 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ සෙසු ප්‍රතිපාදන 2026 මාර්තු 9 වන දින සිට බලාත්මක වන අතර, එමඟින් ලංකා විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවනු ඇති.

Share