රාජකාරී පැහර හරින විදුලි සේවකයින්ට නව සමාගම්වලින් විනය ක්‍රියාමාර්ග

මේ දක්වා තමන් සිදුකළ රාජකාරී ඒ ආකාරයෙන්ම ඉටු කරමින් විදුලිබල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසට නව සමාගම් දෙකක් විසින් විදුලි සේවකයින්ට දැනුම්දී තිබෙනවා.
සේවකයන්ට ලිඛිතව මේ බව දැනුම් දී ඇත්තේ ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිම්ටඩ් සහ නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිම්ටඩ් යන සමාගම් දෙකයි.
සිය රාජකාරී ඉටු කිරීම පැහැර හැරීම අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි යටතේ බරපතළ වරදක් වන අතර, ඒ සඳහා විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද එම ලිපි මගින් අනතුරු අඟවා තිබෙනවා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ස්ථාපිත නව ආයතන වෙත සේවකයින් අනුයක්ත කිරීමේදී ක්‍රමවත් පත්වීම් ලිපි ලබා නොදිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විදුලි සේවකයින් සඳුදා සවස 3ට ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වනවා.
වර්ජනය හේතුවෙන් දිවයිනේ 15000කට ආසන්න විදුලි බිඳ වැටීම් වාර්තා වී ඇති බව විදුලි බල මණ්ඩලයේ ජාතික සේවක සංගමය පවසනවා.

මේ අතර ලංවිමට අදාල ප්‍රධාන සමාගම් 04හි අධ්‍යක්ෂක මණ්ඩල සමග වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව ඉල්ලීම් 64න් ඉල්ලීම් 62ක් ලබාදීමට අධ්‍යක්ෂක මණ්ඩල එකඟ වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රී නිකුත් කළා.
මේ අතර සමාගම් හතරක සභාපතිවරුන්ගේ අත්සනින් සියලු සේවකයන් වෙත විවෘත ලිපියක් ද යොමු කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ ලංවිම වෘත්තීය සමිති 25 විසින් ඉදිරිපත් කළ යෝජිත සාමූහික ගිවිසුමෙහි වගන්ති පිළිබඳව අනුප්‍රාප්තික සමාගම් අධ්‍යක්ෂ මණ්ඩල සමග පැවති සාකච්ඡාවේදී එකඟ වූ පරිදි අදාළ කරුණු බලශක්ති අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමෙන් පසු ඔහුගේ අනුමැතිය ලැබුණු බවයි.
එලෙස අනුමැති ලැබුණු කරුණු වන්නේ,
රු. 1,000/= සහ රු. 10,000/= දීමනාව අඛණ්ඩව ලබා දෙන අතර ජීවන වියදම් දීමනාව ද එයට එකතු කර රජයේ අනුමත ජීවන වියදම් දීමනාව ලෙස සංයුක්තව ගෙවීම,
වාර්ෂික ප්‍රසාද දීමනාව සඳහා නව සමාගම් විසින් කාර්ය සාධන පදනම්ව ගෙවීම් සිදු කරන තෙක් ලංවීම විසින් දැනටත් ලබා දෙන වාර්ෂික ප්‍රසාද දීමනාව ලබා දීම
විශ්‍රාම හිමිකම් දීමනා පිළිබඳව ධනාත්මකව සලකා බැලීමට CEBEF සමාගමට උපදෙස් ලබා දීමට අමාත්‍යවරයා එකඟ වීම යි.

ඒ අනුව ජනතාව අපහසුතාවයට පත්වන වැඩවර්ජනය අවසන් කොට සේවයට වාර්තා කරන ලෙස වෘත්තීය සමිතිවලින් එම සමාගම්වල සභාපතිවරුන් 04 දෙනා ඉල්ලා ඇති අතර එලෙස සේවය වාර්තා කරන්නේ නම් ඉදිරි දින දෙක තුළ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දීමට මෙන්ම ඉල්ලා ඇති වැටුප් වැඩිවීම පිළිබඳ සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට බලශක්ති අමාත්‍යවරයා එකඟ වූ බව ද ලිපියේ සඳහන්.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අනුප්‍රාප්තික සමාගම් නිකුත් කළ නිවේදනයේ නීත්‍යානුකූල වලංගුභාවය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවයි.
අදාළ සමාගම් හයෙන් හතරක් වෙනුවෙන් හුදෙක් ‘සභාපතිවරුන්’ යැයි සටහන් කර අත්සන් තබා තිබීම සහ අත්සන් කර ඇති පුද්ගලයන්ගේ නම් හෝ අනන්‍යතාව පැහැදිලිව තහවුරු කර නො තිබීම.
ලංවිම ‌සේවක අථසාධක අරමුදල හා විශ්‍රාම වැටුප් අරමුදල ‌වෙනුවෙන් ඇතිකළ සමාගමේ සභාපතිවරයාගේ අත්සනක් එහි නොමැති වීම.
විෂය භාර අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශ ලේකම්වරයා වැනි ව්‍යවස්ථාපිත බලතල ඇති නීත්‍යනුකූල බලයලත් නිලධාරියෙකු විසින් මෙම ලිපියේ අන්තර්ගතය සහතික කර/අනුමත කර නො තිබීම
ඉංජිනේරු සංගමය මතු කරන ගැටලු වනවා.
මෙසේ නීත්‍යනුකූල ලිඛිත එකඟතාවයක් ලබාදීමේ ප්‍රමාදය අමාත්‍යවරයාගේ පාර්‌ශවයෙන් සිදුවන්නක් බව ද එම නිවේදනයේ සඳහන්.

මේ අතර ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිම්ටඩ් සහ නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිම්ටඩ් යන සමාගම් විසින් සේවකයන්ට ලිඛිතව දැනුම් දී ඇත්තේ වර්ජනය අවසන් කර සේවයට වාර්තා කරන ලෙසයි.
විදුලිබල සැපයුමට අදාළ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති පසුබිමක එම සැපයුම් සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන්නැයි ඔවුන් විදුලි සේවකයින්ට දැනුම්දෙනවා.
එසේ සිය රාජකාරී ඉටු කිරීම පැහැර හැරීම අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි යටතේ බරපතළ වරදක් වන අතර, ඒ සඳහා විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බැවින් වහාම විදුලිබල සැපයුම් සේවාව තුළ පැවරී ඇති රාජකාරී ඉටු කරන ලෙස එම සමාගම් සිය නිවේදන මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
සේවකයින් සියලු දෙනා වෙත පත්වීම් ලබාදීමට කටයුතු කරමින් සිටින අතර ඉදිරියේදී එය ලබාදීමට පියවර ගන්නා බවද එම ලිපිවල සදහන්.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩල අනුප්‍රාප්තික සමාගම් හතරෙහි සභාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් මේ වනවිට කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වෙනවා.
එහි දී ඔවුන් සඳහන් කළේ විදුලි සේවකයින්ගේ ඉල්ලීම් ඉටු කළෙහොත් සියයට 100කින් විදුලි ගාස්තු වැඩි කිරීමට සිදුවන බවයි.

Share