රට ගොඩනැගීමට නම් අධ්‍යාපනය සඳහා වූ ආයෝජනයන් දිරිමත් කරමින් දියුණු මානව සම්පතක් නිර්මාණය කළ යුතුයි

රට ගොඩනැගීමට නම් අධ්‍යාපනය සඳහා වූ ආයෝජනයන් දිරිමත් කරමින් දියුණු මානව සම්පතක් නිර්මාණය කළ යුතු බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. 2024 උසස් පෙළ විභාගය ඉහළින් සමත් වූ සිසුන් පිරිසකට ලෝකයේ ඇති ඉහළ පෙළේ විශ්වවිද්‍යාලයන්හි උපාධිය හැදෑරීම සඳහා අවස්ථාව උදාකර දෙමින් ලබාදෙන ශිෂ්‍යත්ව වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා

මෙම වැඩසටහන මඟින් 2025 සිට 2033 දක්වා කාලය තුළ සමස්ත සිසුන් 200 දෙනෙකුට විදේශ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙහි මූලික අදියර ලෙස 2025/26 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් තිස් දෙදෙනකු මේ වන විටත් තෝරාගෙන ඇති අතර, ඉන් සිසුන් 9 දෙනකු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, මෙල්බර්න්, මොනෑෂ් සහ නවසීලන්තයේ ඕක්ලන්ඩ් වැනි ලොව ඉහළම පෙළේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් වී තිබෙනවා.
මෙහිදී තෝරාගනු ලබන එක් සිසුවකු වෙනුවෙන් වසරකට උපරිම රුපියල් මිලියන 20 බැගින්, වසර හතරක සම්පූර්ණ උපාධි කාලය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 80 ක්.
මෙම වැඩසටහන සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්, සිසු දරුවන් ඇතුළු පිරිසක් සහභාගී වුණා

Share