මේ අතර මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ සංචාරකයන්ගේ සහ විදේශ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධන වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක වැඩපිළිවෙළ සහ ඉදිරි පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
දැනට වාර්තා වී තිබෙන තොරතුරු අනුව අදාළ රටවල වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට බරපතළ හානි වාර්තා වී නොමැති බවත්, තානාපති කාර්යාලවලින් සහාය ඉල්ලා ඇති අය වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීමට අවශ්‍ය ප්‍රතිපාදන අදාළ තානාපති කාර්යාල වෙත මේ වන විටත් යොමු කර තිබෙන බවත් මෙහිදී අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම විදේශ රැකියාවල නිරත, මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට යළි සේවයට වාර්තා කිරීම සඳහා කාලය ලබා දෙන ලෙස අදාළ තානාපති කාර්යාල හරහා ඉල්ලීමක් සිදු කිරීමටද තීරණය කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
සංචාරයට සහ ව්‍යාපාර කටයුතු සඳහා මැදපෙරදිග රටවලට ගොස් ආපසු ඒමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳවද සොයා බලා ඔවුන් නැවත ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.





