යළි තද වැසි අවදානමක්

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙවරුවේ නිවේදනය කළා.

එහි බලපෑම හේතුවෙන් ජනවාරි 8 වැනිදා සිට උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

කාලගුණ නිවේදනයේ දැක්වුණේ බදුල්ල, නුවර එළිය, මාතලේ ඇතුලු දිස්ත්‍රික්ක හතකට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ බලපෑම මත ප්‍රදේශ කිහිපයකට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බ්‍රහස්පතින්දා සිට උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඌව පළාතේත්, නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව අද පෙරවරු 5.30ට නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන්.
මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී සුළඟේ වේගය පැයට කිලෝමීටර් 55ත් 60ක් දක්වා වර්ධනය විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවදානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.
අද උදෑසන 8.30න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තා වුණේ මිලිමීටර් 75ක් ලෙසයි.

මේ අතර මධ්‍යම පළාතට බලපා ඇති අයහපත් කාලගුණය සැලකිල්ලට ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක කිහිපයකට දෙවන මට්ටමේ නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

මේ අතර දිට්වා සුලි කුණාටුවෙන් කොත්මලේ ප්‍රදේශයේ සිදු වූ නායයෑම් වලින් පසු කොත්මලේ ජලාශයේ අධික ලෙස වැලි සහ රොන්මඩ තැන්පත් වී තිබෙනවා.
ප්‍රදේශවාසීන් සඳහන් කළේ මෙම වැලි ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සදහා භාවිතා කිරීම සඳහා වගකිව යුතු පාර්ශව මැදිහත් විය යුතු බවයි.

Share