මොඩියුල සිද්ධියට දෙදෙනෙකුට වැඩ වරදී

ඉංග්‍රීසි මොඩියුල ගැටලුව සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනය මත පදනම්ව ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.
ඊට අදාලව එහි තවත් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි වාර්තා වනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියට අදාළ ඉංග්‍රීසි මොඩියුලය තුළ සමරිසි ප්‍රවර්ධන වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත්වීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වුණා.
ඒ් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පැවැත්වීමට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී රංජිත් ආරියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තා.
එම කමිටුවේ නිර්දේශ පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදී තිබුණා.
ඒ අනුව ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.
එමෙන්ම 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය ගැටලුව සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ තවත් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි අමාත්‍යංශ ප්‍රකාශකයෙක් සඳහන් කළා.
අභ්‍යන්තර පරීක්ෂණයක ප්‍රතිඵල ලැබෙන තෙක් එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මීට පෙර, සිය තනතුරෙන් ඉල්ලා අස්වුණා.
අදාළ මොඩියුලය බෙදා හැරීම ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අත්හිටුවනු ලැබුවා.
මෙම සිද්ධිය පදනම් කරගනිමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව සමගි ජනබලවේගය ඇතුලු විපක්ෂයේ පක්ෂ කිහිපයක් විශ්වාසභංගයක් ද කතානායකවරයාට භාර දුන්නා.

Share