මෙරට ජනතාවගේ ඩිජිටල් නැමියාව සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ අලෙවිකරණ කළමනාකරණ අංශය සහ ආසියා පැසිෆික් ඩිජිටල් මාකටිං ආයතනය එක්ව නවතම අධ්‍යයන වාර්තාව පසුගියදා එලිදක්වනු ලැබුවා.
එමගින් අනාවරණ වී ඇත්තේ මෙරට AI භාවිත නොකරන පිරිස සියයට 5ක් බවයි.
2025 වසර සඳහා සම්පාදනය කර ඇති ඩිජිටල් අවුට්ලූක් ශ්‍රී ලංකා’ වාර්ෂික වෙළඳපොළ තක්සේරුවට ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින්ගේ මාධ්‍ය පරිශීලනය, සමාජ මාධ්‍ය පුරුදු, මාර්ගගත විකිණීම් හා කෘතිම බුද්ධිය භාවිතය පිළිබඳ දත්ත අන්තර්ගතයි.
ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයන් අතරින් 3077ක් සහභාගී කරගනිමින් මෙම අධ්‍යයනය සිදු කර තිබෙනවා.
මෙම වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයන්ගෙන් 92%ක්ම ස්මාර්ට්ෆෝන් භාවිතා කරන අතර, වැඩිපුරම භාවිතා වන සමාජ මාධ්‍ය වේදිකාව තවමත් ෆේස්බුක් වනවා.
එහි පරිශීලක ප්‍රතිශතය 83%ක්.
කෙසේවෙතත්, ටික්ටොක් වේදිකාව භාවිතයේ ඉහළ යාමක් පෙන්නුම් කරමින් 2024 වර්ෂයේ 35%ක් වූ පරිශීලක ප්‍රතිශතය 2025 වසර වන විට 42% දක්වා වර්ධනය වී තිබෙනවා.
ඈත අතීතයේ සිට රුපවාහිනිය ඔස්සේ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් ප්රවෘත්ති නැරඹීමට යොමු වූ නමුත් ඩිජිටල් තාක්ෂණයේ වර්ධනයත් සමඟ එය මේ වනවිට වෙනස් වී තිබෙනවා.
ඒ අනුව, සමාජ මාධ්‍ය පිටු හරහා ප්රවෘත්ති ලබා ගන්නා පිරිස 58%ක්.
මේ අතර ශ්‍රී ලංකාවේ මාර්ගගත ගැනුම්කරුවන්ගේ චර්යාව විශ්ලේෂණය කිරීමේදී, 62%ක් ගූගල් වැනි සෙවුම් යන්ත්‍ර හරහා නව නිෂ්පාදන සොයා ගන්නා බවත්, 43%ක්ම ඇඳුම් පැළඳුම් මාර්ගගතව මිලදී ගන්නා බවත් මෙම වාර්තාව අනාවරණ කරනවා.
අන්තර්ජාලයෙන් මිලදී ගැනීමට තීරණය කිරීමට ප්‍රධාන බලපෑම් කරන අංගය වන්නේ මිල වට්ටම් බව වාර්තාවේ සඳහන්.
ගෙවීම් ක්‍රමවල දී, අන්තර්ජාල ගැනුම්කරුවන්ගෙන් 52%ක්ම ‘කෑෂ් ඔන් ඩිලිවරි’ හෙවත් භාණ්ඩය ලැබුණු විට මුදල් ගෙවීමට වැඩි රුචිකත්වයක් පෙන්වා තිබෙනවා.
බොහෝ දෙනා අන්තර්ජාල ගැණුම් සඳහා බැංකු කාඩ්පත් භාවිතයට මැලිකමක් දක්වන්නේ අන්තර්ජාල වංචා ගැන ඇති බිය නිසා බව විශේෂඥයින්ගේ අදහසයි.
2000 දශකයෙන් පසු, කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණයේ සිදු වූ ගෝලීය වර්ධනයත් සමඟ ශ්‍රී ලංකාවේද කෘතිම බුද්ධිය පරිභෝජනය මෑත වර්ෂවලදී ඉහළ යෑමක් පෙන්නුම් කෙරෙනවා.
2024 වසරේ AI මෙවලම් භාවිතා නොකළ පිරිස් 24%ක් වූ අතර, එම ප්‍රතිශතය 2025 වසර වන විට 5% දක්වා අඩු වී තිබෙනවා.
දත්ත වලට අනුව, වඩාත් ජනප්‍රිය AI මෙවලම වන්නේ ChatGPT 3.5 නිදහස් අනුවාදයයි.
පරිශීලකයින්ගෙන් 42%ක් AI මෙවලම් අධ්‍යාපනික අවශ්‍යතා සඳහා යොදා ගන්නා අතර, 76%ක් පමණ සෙවුම් යන්ත්‍ර වෙනුවට දැන් AI මෙවලම් භාවිතයට ගන්නා බවට අධ්‍යයනයේ දී හෙලි වී තිබෙනවා.





