මෙරට ධීවරයින් පිරිසකට ඉන්දීය වෙරළාරක්ෂක බලකා නිලධාරීන් විසින් පහරදුන් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
වෙන්නප්පුව ප්‍රදේශයෙන් මුහුදු ගිය මෙරට ධීවරයින් පිරිසකට ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් පහර දුන් බවට පසුගියදා වාර්තා වූ අතර එම ධීවරයින් කිහිප දෙනෙක් රෝහල්ගතවද ප්‍රතිකාර ලැබුවා.
මේ අතර පහරකෑමට ලක් වූ බව කියන ධීවරයින් කිහිප දෙනෙකු ඇතුළු ධීවරයින් පිරිසක් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවක ද නිරත වුණා.
පසුගිය 29 වැනිදා වෙන්නප්පුව වෙල්ලමංකරය වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා දෙකක ධීවරයින් 12 දෙනෙකු මුහුදේදී පහර කෑමට ලක්ව තිබුණා.
ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීමෙන් අනතුරුව මෙරටට පැමිණෙමින් සිටියදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් තමන්ට පහර දුන් බවයි එම ධීවරයින් පැවසුවේ.
පහර කෑමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ ධීවරයින් සිව්දෙනෙකු ඇතුළු ධීවරයින් 12 දෙනෙකු අවස්ථා දෙකකදී නාවික හමුදාවේ මැදිහත්වීමෙන් ගොඩබිමට රැගෙන එනු ලැබූ අතර ඉන් 9 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණා.
අදාළ පහරදීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කරන බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වා සිටියා.
මෙම පහරදීමට විරෝධය පළ කරමින් ධීවරයින් පිරිසක් අද මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යලය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා.
විරෝධතාව සඳහා පහරකෑමට ලක් වූ ධීවරයින් කිහිප දෙනෙකුද එක්ව සිටියා.
අදාළ පහරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අද නිවේදනයක් නිකුත් කර තිබුණේ මෙවන් පසුබිමකයි.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා නිකුත් කළ එම නිවේදනයේ දැක්වුණේ ඉන්දීය නාවික හමුදා හෝ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ සාමාජිකයන් විසින් එවැනි කිසිදු පහර දීමක් සිදු කර නොමැති බව තම පාර්ශ්වය නිශ්චය කරගෙන ඇති අතර ඒ බව තහවුරු කළ හැකි බවයි.
ඉන්දියාව දිගින් දිගටම ධීවරයන්ගේ ජීවනෝපාය කරුණු සම්බන්ධයෙන් මානුෂීය ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බවට සහ කිසිදු තත්ත්වයක් යටතේ බලය භාවිතා නොකළ යුතු බවට වන ස්ථාවරයක සිට ඇතැයි ද අදාළ ප්‍රකාශයේ සඳහන්.
මෙම කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ නිරන්තර සන්නිවේදනයක් පවත්වා ගනිමින් කටයුතු කරන්න බවද මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකවරයා පවසනවා.





