මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වී සිටින මැලේසියානු හිටපු අගමැති නජීබ් රසාක්ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක් පැනවීමට එරට අධිකරණයක් තීන්දු කර තිබෙනවා.
මැලේසියාව තුළ මෙතෙක් සිදු වූ විශාලතම මූල්‍ය වංචාවට චෝදනා එල්ල වී සිටින නජීබ් රසාක්, 2022 වසරේ සිට සිර දඬුවම් විදිමින් සිටිනවා.
එම සිර දඬුවම 2028 දී අවසන්වීමට නියමිත පසුබිමකයි මෙම නව දඬුවම පනවා ඇත්තේ.
කෙසේ නමුත් නජිබ්ගේ නීතිඥවරයා පවසා ඇත්තේ මෙම තීන්දුවට එරෙහිව එළැඹෙන සඳුදා අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.
මේ වනවිට 72 හැවිරිදි වියේ පසුවන නජිබ්ගේ ගිණුම්වලට ඩොලර් බිලියනයකට වඩා වැඩි මුදලක් ලැබී තිබීම ඔහුට එරෙහිව ඇති ප්‍රධානම චෝදනාවයි.
ඊට අමතරව ඔහු එරට රාජ්‍ය අරමුදලකින් ඩොලර් බිලියන 4.5ක් සොරකම් කර ඇති බව සඳහන්.
ඒ අනුව ඊයේ පැවති නඩු විභාගයේ දී පැය 5ක් පුරා තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා 21කට නජීබ්ට වැරදිකරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සිර දඬුවමට අමතරව ඔහුට රිංගිට් බිලියන 11.39ක (ඩොලර් බිලියන 2.82) දඩ මුදලක් ගෙවීමට ද නියෝග කර ඇති අතර, ඔහුගෙන් රිංගිට් බිලියන 2.08ක වත්කම් අයකර ගත යුතු බවටත් දන්වා තිබෙනවා.
එම කටයුතු දෙකම ඉටුකිරීමට අපොහොසත් වුවහොත් අමතර සිර දඬුවම් පනවන බවටත් අදාළ අධිකරණ නියෝගයේ සඳහන්.
නජීම් විසින් වංචනිකව උපයාගන්නා ලද මුදල් යොදාගනිමින් ඔහුගේ හිතවතුන් පෞද්ගලික ජෙට් යානයක්, සුඛෝපභෝගී වත්කම් රැසක්, හෝටල්, කලා කෘති සහ ස්වර්ණාභරණ, සුපිරි යාත්‍රා මෙන්ම 2013 වසරේ දී හොලිවුඩ් චිත්‍රපටයක් සඳහා මුදල් යෙදවීමටත් භාවිතා කර ඇති බව වාර්තා වනවා.





