මැද පෙරදිග ගැටුම්කාරී තත්ත්වයන් හමුවේ ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යා හැකියි

මැද පෙරදිග මතුව ඇති ගැටුම්කාරී තත්ත්වයන් හමුවේ ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යා හැකි බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
කෙසේ වෙතත් මිල උච්ඡාවචනයන් සිදු වූවද අඛණ්ඩව මෙරට ආහාර සැපයුම්ජාල පවත්වා ගැනීමට කටයුතු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ වුවද, ශ්‍රී ලංකාවට ස්ථාවර ඉන්ධන සැපයීමක් පවත්වාගෙන යාමට කටාර් රාජ්‍යය කැපවී සිටින බව කටාර් රාජ්‍යයේ එමීර්වරයා පවසා තිබෙනවා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහාතා සමග පැවති දුරකථන සංවාදයක දී කටාර් එමිර්වරයා මේ බව පවසා තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කටාර් රාජ්‍යයේ එමීර් හෙයික් තමිම් බින් හමාඩ් අල්-තානි විශේෂ දුරකථන සංවාදයක් පවත්වා ඇති බව කටාර් නිව්ස් ඒජන්සිය සඳහන් කරනවා.
මෙහිදි පවතින අර්බුදකාරි වාතාවරණය හේතුවෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් දෙදෙනාම සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සාකච්චාවේ දී කටාර් රාජ්‍යයේ ජීවත් වන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ යහපැවැත්ම පිළිබඳව මෙරට ජනාධිපතිවරයාට කටාර් එමීර්වරයා සහතික කර ඇති අතර, කටාර් භූමියේ ජීවත් වන සියලු දෙනාගේ ආරක්ෂාව සහ සුභසාධනය සඳහා එරට රජයේ කැපවීම ද මෙහිදි ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්ව තිබෙනවා
මෙහිදී වත්මන් අභියෝග මධ්‍යයේ ස්ථාවර බලශක්ති සැපයුම් පවත්වා ගැනීම වෙනුවෙන් කටාර් රාජ්‍යය සහතික වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා ඇත්තේ.

අත්‍යවශ්‍ය ආහාර සැපයුම්කරුවන්ට ප්‍රමාණවත් ඉන්ධන ලබා දීමට අවශ්‍ය සැලසුමක් මේ වන විට සකස් කර ඇති බවත්, මිල උච්ඡාවචනයන් මධ්‍යයේ වුවද අඛණ්ඩව මෙරට ආහාර සැපයුම්ජාල පවත්වා ගැනීමට කටයුතු කර ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහාතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පිටකොටුව වෙළඳ සංගමය සහ ආහාර ආනයනකරුවන්ගේ සංගමය සමග වෙළඳ අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදියි.

මේ අතර මැදපෙරදිග යුද ආතතින් හමුවේ මෙරට ජනතාවට පැනවුනු ඉන්ධන සීමාවන් හේතුවෙන් මෙරට අත්‍යාවශ්‍ය සේවා රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චොදනා කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරු, සෞඛ්‍ය සේවකයින් රාජකාරීවලට ගෙන්වීමේදි තිබෙන අවශ්‍යතා මෙන්ම එම ගැටලු සම්බන්ධයෙන් රජය නිසි අවධානයක් යොමු කර නැති බව පවසමින්.

එමෙන්ම දුර බැහැර පාසල් සඳහා යතුරු පැදි භාවිතයෙන් සේවයට යන ගුරුවරුන්ට ලබා දී ඇති ඉන්ධන කෝටාව ද, ප්‍රමාණවත් නොවන බව ලංකා ගුරු සංගමය පවසනවා. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් වහාම මැදිහත්ව රජය දැනුවත් කර ක්‍රියාමාර්ග ගත යුතු බවයි එම සංගමය පවසන්නේ.

මේ අතර ඉරාන යුද්ධයේ බලපෑම වැඩියෙන්ම දැනී ඇත්තේ මෙරට සංචාරක ක්ෂේත්‍රයටයි.
වෙනදා සංචරකයින්ගෙන් පිරි ඉතිරි යන ප්‍රදේශ රැසක් මේ වන විට පාලු ස්භාවයක් ගෙන ඇත්තේ මැදපෙරදිග යුද ගැටුම් හමුවේ මෙරටට පැමිණිමට ගුවන් යානා පහසුකම් සීමා වීමේ ගැටලු මතයි.
දෙස් විදෙස් ආකර්ෂණය ලද හපුතලේ සංචාරක පුරවරයට ද පැමිනෙන විදෙස් සංචාරකයන් ද මේ වන විට විශාල ලෙස අඩුවෙමින් පවතින බවයි වාර්ථා වන්නේ.
මැද පෙරදිග යුද ගැටුම් උත්සන්න වීමට පෙර, අඹේවෙල සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය මගින් විශාල වශයෙන් විදෙස් සංචාරකයන් හපුතලේට පැමිනි අතර මේ වන විට එම පිරිසේ විශාල අඩුවක් දක්නට ඇති බවයි සංචාරක මග පෙන්වනන් පවසන්නේ.

මේ හේතුවෙන් මෙවර සංචාරක සමයේ දී තමන් අසරණ වන බව හෝටල් හිමියන්, සංචාරක රියදුරන් මෙන්ම සංචාරක මඟපෙන්වන්නන් ද පවසනවා.

Share