මහා නා හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

පුරප්පාඩු වී පවතින විගණකාධිපති ධුරය සඳහා වැඩබලන විගනකාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධර්මපාල ගම්මන්පිල මහතා පත් කිරීම සුදුසුවන බව දන්වමින් ත්‍රෛයිනිකායික මහ නා හිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. සිය ලිපිය මගින් මහ නා හිමිවරුන් අවධාරණය කර ඇත්තේ එම තනතුර සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර පුද්ගලයෙකු පත් කිරීම සුදුසු නොවන බවයි.

හිටපු විගණකාධිපති W.P.C වික්‍රමරත්න මහතා විශ්‍රාම යාමෙන් පසු 2025 වසරේ අප්‍රේල් 08 වැනිදා සිට මේ දක්වා විගණකාධිපති ධුරය හිස්ව පවතිනවා. පසුගිය වසරේ අප්‍රේල් මස 9 වැනිදා සිට එම ධුරයේ වැඩ බැලීම සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කළ , ජ්‍යේෂ්ඨතම නිලධාරියෙකු වූ ධර්මපාල ගම්මන්පිල මහතා පත් කෙරුණත්, ඔහුගේ වැඩ බැලීමේ කාලය දෙසැම්බර් මස 05 වැනිදායින් අවසන් වුණා. අනතුරුව ජනාධිපතිවරයා විසින් විගණකාධිපති ධුරය සඳහා නම් කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කළ ද ඒවා ප්‍රතික්ෂේප වීමත් විශේෂත්වයක්. විගණකාධිපති ධුරය සඳහා කඩිනමින් නිලධාරියෙකු පත්කරන්නැයි දන්වමින් ත්‍රෛනිකායික මහ නා හිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇත්තේ එවන් පසුබිමකයි.

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කර අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වන ධර්මපාල ගම්මන්පිල මහතා විගණකාධිපති ධුරය සඳහා පත් කිරීම සුදුසු බවත් මහා නා හිමිවරුන් අදාළ ලිපිය මගින් දැනුම්දී තිබෙනවා. එමෙන්ම විගණකාධිපති ධුරය සඳහා දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර නිලධාරියෙකු පත් කිරීම සුදුසු නොවන බව ද ලිපියේ සඳහන්. මේ දක්වා විගණාකාධිපතිවරයෙකු පත් නොකිරීම හමුවේ විවිධ පාර්ශ්වයන් රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ මතභේදයන් ඇති කිරීමට උත්සාහ දරන බවත් උන්වහන්සේ පෙන්වා දී තිබෙනවා. එසේම රජයේ ආර්ථික සංවර්ධන වැඩසටහන පිළිබඳවත් ඒ හරහා සෘණාත්මක මතවාද සමාජගත වන බවයි එම ලිපියේ සඳහන් වන්නේ.

Share