මත් වූ බස් සේවකයින් සොයන මෙහෙයුම

මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරනව බස් රථ සේවකයින් හදුනාගැනීමේ වැඩසටහන අද මොරටුවේදී ක්‍රියාත්මක කෙරුණා
පැය 6ක් පමණ කාලයක් තුළ මත් ද්‍රව්‍ය භාවිත කළ බවට 8 දෙනෙකු තහවුරු කරගත් බව පොලිසිය පැවසුවා.
බස් රථ සේවකයින් ද මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැක්වූයේ දැඩි ප්‍රසාදයක්. සේවා කාලය අතරතුර මත්ද්‍රව්‍ය භාවිත කර සිටින බස් රථ සේවකයින් හඳුනා ගැනීමේ මෙහෙයුම් පසුගිය 21 වැනිදා සිට ක්‍රියාත්මක වනවා. ඒ යටතේ මොරටුව ප්‍රධාන බස් නැවතුම්පොලේ අද පෙරවරුවේ හදිසි පරික්ෂාවක් සිදු කෙරුණා. මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවේ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය,ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ ශ්‍රී ලංකා පොලිසිය එක්වයි.

පැය 6ක පමණ කාලය තුළ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 250 දෙනෙක් පමණ පරික්ෂාවට ලක් කෙරුණා. එහිදී 8 දෙනෙකු විෂ මත්ද්‍රව්‍යක් භාවිතා කර ඇති බවට තහවුරු වු බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීණි සමරසේකර මහත්මිය සඳහන් කළා.
එහිදී ගංජා මත්ද්‍රව්‍ය පානය පස්දෙනෙක්, හෙරොයින් පානය කරන එක් අයෙක්, අයිස් මත්ද්‍රව්‍ය පානය කරන එක් අයෙක් සහ අයිස්, හෙරොයින් දෙකම පානය කරන එක් අයෙක් හඳුනාගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය භාවිතා කර ඇතැයි තහවුරු වූ බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරු පොලිසිය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා කියා සිටියේ මෙරට ප්‍රවාහන සේවය විධිමත්ව හා කාර්යක්ෂමව පවත්වා ගැනීම නීති රීති හරහා පමණක් නොහැකි බවයි.

Share