ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා දිවයිනට දකුණු දෙසින් වූ මුහුදේ දී සිය භාරයට මත්ද්‍රව්‍ය සමඟ කොටු වූ සැකකරුවන් 10 දෙනා අද දින අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා පවසනවා.
එම සැකකරුවන් මේ වන විට මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයේ පසුවන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදේ දී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 654ක් ප්‍රවාහනය කරමින් සිටි ධීවර යාත්‍රාවක් ඊයේ පෙරවරුවේ දික්ඕවිට වරායට රැගෙන එනු ලැබුවා.
එම යාත්‍රාවේ තිබී අයිස් කිලෝග්‍රෑම් 478ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 176ක් සොයා ගැණුනු අතර පිස්තෝල වර්ගයේ ගිනි අවි 8ක්, ටී. 56 ගිනි අවි දෙකක් සහ එම් 16 වර්ගයේ ගිනි අවියක් මෙන්ම ඒවාට යොදා ගන්නා මැගසීනද සොයා ගත්තා.
එය එල්ටීටීඊ සංවිධානය සමග පැවති යුද ගැටුම් අවසන් වීමෙන් පසුව මහ මුහුදේදී නාවික හමුදාව සිය භාරයට ගත් වැඩිම ගිනි අවි සංඛ්‍යාව වීමත් විශේෂත්වයක්.
මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සැකකරුවන් දස දෙනෙකු නාවික හමුදා භාරයට ගත් අතර පසුව ඔවුන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදෙනු ලැබුවා.
අද උදෑසන අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ අදාළ සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.
මේ අතර නඩු කටයුතු අවසන් කෙරුණු තවත් විශාල මත්ද්‍රව්‍ය තොගයක් පුත්තලම ලැක්ටෝ වත්තේ පිහිටි දහන උඳුන වෙත රැගෙන යාමට අද පෙරවරුවේ පියවර ගැණුනේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේයි.
එම මත්ද්‍රව්‍ය අතරට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු කටයුතු අවසන් කෙරුණු හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 500කට අධික ප්‍රමාණයක් කැතීන් කිලෝ 100කට අධික ප්‍රමාණයක් සහ මත් පෙති 3500කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත්.
ඊට අමතරව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් කෙරුණු තවත් මත්ද්‍රව්‍ය තොගයක් සහ මේ වන විට රජයේ රස පරීක්ෂක කාර්යාලයේ රඳවා අති මත්ද්‍රව්‍ය තොගයක්ද මෙලෙස විනාශ කිරීමට පියවර ගත් බවයි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා කියා සිටියේ.





