බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ දී ප්‍රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවක

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ දී ප්‍රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා.
විරෝධතාවට හේතු වූයේ කසළ අංගනයක් ඉදිකිරීම පිළිබඳ යෝජනාවට අනුමැතිය ලබා ගැනීම අද දිනට නියමිතව තිබීමයි.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද විරෝධතාවට එක්වූ අතර පසුව ඔවුන් යළි සැසිවාරයට එක්වීම සඳහා ගිය ද එය වැළැක්වීමට සභාපතිනිය ක්‍රියාකළ අවස්ථාවේ දී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කසළ අංගනයක් ඉදිකිරීම පිළිබඳ යෝජනාව අද පැවැත්වෙන ප්‍රාදේශීය සභා සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
අදාළ කසළ අංගනය ඉදිකිරීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් ප්‍රාදේශීය සභා සැසිවාරය පැවැත්වෙන භූමියට පැමිණ අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා. විරෝධතාව සඳහා ප්‍රාදේශීය සභා විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා. කෙසේ වෙතත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතාවට සහභාගී වී නැවත ප්‍රාදේශීය සභා සැසිවාරයට එක්වීමේදී සභාපතිවරියගේ විරෝධය ඊට පළ වීමත් සමඟ සභාවේ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. අනතුරුව නැවත විරෝධතාව පැවැත්වෙන ස්ථානයට පැමිණි මන්ත්‍රීවරුන් විරෝධතාකරුවන් සමඟ ප්‍රාදේශීය සභාවේ මහජන ගැලරියට යාමට උත්සාහ කළා.
පොලිසිය එය වැළැක්වීමට උත්සාහ කිරීමත් සමඟ එහි යළි නොසන්සුන්තාවක් හට ගත්තා.

පසුව පෝද්දල පොලිස් ස්ථානාධිපතිවරයා එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කොට ප්‍රාදේශීය සභා සභාපතිවරිය සමඟ විරෝධතාකරුවන් අතුරින් කිහිප දෙනෙකුට සාකච්ඡාවකට අවස්ථාව සලසා දුන්නා.

Share