බොර තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට

ගල්ෆ් කලාපයේ ඇතිව තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. සතියක් තුළ WTI මිල 35.63% කින් සහ බ්‍රෙන්ට් මිල 27% කින් ඉහළ ගියා. එය 2020 COVID-19 වසංගතයෙන් පසු සතියක් තුළ වාර්තා වූ බොරතෙල් මිලේ විශාලතම වැඩිවීමයි. සිකුරාදා ගනුදෙනු අවසන් වන විට බොරතෙල් මිල ඩොලර් 90 සීමාව පසු කර තිබුණා.

බොරතෙල් මිල සිකුරාදා, පෙර දිනයට සාපේක්ෂව සියයට 12කින් ඉහළ ගියා. බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 7.28 කින් හෙවත් 8.52% කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 92.69 ක් ලෙස සටහන් වූණා. ඩොලර් 9.89 කින් හෙවත් 12.21% කින් ඉහළ WTI බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 90.90 ක් ලෙසයි. 2023 වසරේ සැප්තැම්බර් – නොවැම්බර් කාලසීමාවෙන් පසුව බොරතෙල් මිල සඳහා වාර්තා වූ ඉහළම අගය මෙය වනවා. මැදපෙරදිග අර්බුදයට පෙර ලෝක වෙළෙදපොලේ තෙල් සැපයුම ඉල්ලුමට වඩා වැඩි මට්ටමක පැවති බැවින් මිල පහළ මට්ටමක පැවතියා. ලෝක තෙල් සැපයුමෙන් සියයට 20 ක් පමණ ප්‍රවාහනය කෙරෙන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන්ගන්නා නෞකාවලට ඉරානය ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අගවා තිබීම තෙල් මිල ඉහළයාමට ප්‍රධානම හේතුවක්.

මේ අතර කටාර්හි බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි සිකුරාදා ද ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට පැවසුවේ ඉන්ධන ප්‍රවාහන නෞකාවලට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට නොහැකි වුවහොත් ඉදිරි සති කිහිපය තුළ බොරතෙල් බැරලයකට ඩොලර් 150 දක්වා ඉහළ.යනු ඇති බවයි.

ට්‍රම්ප් පරිපාලනය සිකුරාදා පර්සියානු ගල්ෆ් කලාපයේ තෙල් ටැංකි සඳහා ඩොලර් බිලියන 20 ක රක්ෂණ වැඩසටහනක් ප්‍රකාශයට පත් කළ නමුත් එම පියවර බොරතෙල් වෙළඳපොළ සන්සුන් කිරීමට ප්‍රමාණවත් නොවන බවද විදේස් මාධ්‍ය හමුවේ විශ්ලේෂකයින් කියා සිටියා.

මේ අතර ඉරාකය දෛනික නිෂ්පාදනය බැරල් මිලියන 1.5 කින් අඩු කර තිබෙනවා.

ගබඩා ඉඩකඩ අවසන් වීමෙන් පසු කුවේටය ද නිෂ්පාදනය අඩු කිරීම ආරම්භ කර ඇතිබව සඳහන්.

හෝමූස් සමුද්‍ර සන්ධිය ගමනාගමනය සඳහා විවෘත නොකළහොත් ලබන සතිය අවසන් වන විට නිෂ්පාදන කප්පාදුව දිනකට බැරල් මිලියන 6 දක්වා ළඟා විය හැකි බවට ද කුවේටය අනතුරු අඟවනවා.

මේ අතර ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන්, ආහාර සහ ආනයනික භාණ්ඩවල මිල ගණන් කෙරෙහි ද විශාල බලපෑමක් එල්ල වෙමින් තිබෙනවා.

මෙම තත්ත්වය එංගලන්තය සහ අමෙරිකාව වැනි ප්‍රධාන ලෝක ආර්ථිකයන් පහත වැටීමට මෙන්ම ගෝලීය උද්ධමනය යළි ඉහළ යාමට හේතු විය හැකි බවට ආර්ථික විශේලේෂකයින් අනතුරු අඟවනවා.

උද්ධමනය පාලනය කිරීම සඳහා යුරෝපීය මහ බැංකු කිහිපයක් පොලී අනුපාත ද ඉහළ නැංවූවා.

මේ අතර ඉන්දියාව දැනටමත් මුහුදේ ඇති රුසියානු බොරතෙල් මිලදී ගැනීමට තාවකාලිකව ආරම්භ කර තිබෙනවා.

මේ අතර ඉරානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය තෙල් මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, පාකිස්ථානය ඊයේ සිට ඩීසල් සහ පෙට්‍රල් සිල්ලර මිල සියයට 20කින් පමණ ඉහළ නංවා තිබෙනවා.
එරට රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඛනිජ තෙල් අමාත්‍ය අලි පර්වේස් මලික් නිවේදනය කර ඇත්තේ, ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මිල වැඩි කිරීම සිදු කරමින් ලීටරයක මිල එරට මුදලින් රුපියල් 55කින් ඉහළ නංවන බවයි.

මෙම මිල ඉහළ දැමීම පාකිස්ථානයේ උද්ධමනය තවදුරටත් ඉහළ නැංවීමට සහ එරට දිළිඳු ජනතාවට දැඩි බලපෑමක් එල්ල කිරීමට හේතු වනු ඇතැයි විශ්වාස කරණ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

මිල ඉහළ නැංවීමේ නිවේදනය නිකුත් කිරීමට පෙර සිටම ලාහෝර් සහ කරච්චි වැනි ප්‍රධාන නගරවල ඉන්ධන පිරවුම්හල් අසල ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා.

මේ අතර, පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ඊයේ අනතුරු ඇඟවූයේ, ඉන්ධන තොග රැස් කරන්නන්ට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බවයි.

පාකිස්ථානය ප්‍රධාන වශයෙන් සෞදි අරාබියෙන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ආනයනය කරනු ලබනවා.

රජය විසින් සෑම සතියකම ඉන්ධන මිල සමාලෝචනය කරන බව ද එරට ඛනිජ තෙල් අමාත්‍යවරයා නිවේදනය කර තිබෙනවා.

Share