බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය, පීඩන අවපාතයක් දක්වා දුර්වලවෙයි

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය, පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් අද දහවල් කාලයේදී, ත්‍රිකුණාමලය සහ යාපනය අතර ප්‍රදේශයේ ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
මේ හේතුවෙන් උතුරු පලාතේ ප්‍රදේශ කිහිපයකට මි.මී.100 දක්වා තද වැසි සහ පැ.කි.මී. 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද පෙරවරු 7 වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 60ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ දැක්වෙනවා.
එය උතුරට බරව ගමන් කර පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් අද දහවල් කාලයේදී, ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි ඔවුන් පවසන්නේ.
ඒ හේතුවෙන් උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි අද දිනය තුල ඇති විය හැකියි.
ඊට අමතරව උතුරු අහස වලාකුළින් බරව පවතින අතර උතුරු පළාතෙත් පුත්තලම, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද සදහන්.
එමෙන්ම උතුරු පළාතේ ප්‍රදේශ රැසකට විටින් විට පැ.කි.මී. 50-60 දක්වා සහ තවත් ප්‍රදේශ කිහිපයකට පැ.කි.මී. 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකියි.

මේ අතර පවතින වර්ෂාව සහ මෑතකදී ඇති වු නායයෑම් හා භූ අස්ථාවර තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් පනවා ඇති දෙවන අදියරේ නාය යෑමේ අනතුරු ඇගවිමේ නිවේදන තවදුරටත් අද පස්වරු4 දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරනවා.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය,
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, හඟුරන්කෙත වලපනේ, නිලදණ්ඩාහින්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට දෙවන අදියරේ නිවේදන තවදුරටත් බලාත්මකයි.

මේ අතර ප්‍රධාන ජලාශ 73න් 28ක් මෙන්ම මධ්‍ය ප්‍රමාණයේ වැව් 22ක් තවදුරටත් වාන් දැමීම සිදුවන බව ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ ඒකකය සදහන් කලා.
ඒ අතර කලාවැව ජල මට්ටම අක්කර අඩි 83842ක්ව පැවැතිම හේතුවෙන් හදිසි වාන් දොරටු දෙක ඊයේ රාත්‍රියේ සිට අඩි 01 බැගින් විවෘත කළා.
ඉන් තත්පරයට ඝන අඩි 2314ක ජල ප්‍රමාණයක් කලාඔයට මුදා හැරෙමින් පවතින බව ජලාශය භාර ඉංජිනේරුවරයා සදහන් කලා
එමෙන්ම රාජාංගනය ජලාශයේ ද වාන් දොරටු හතරක් විවෘත කර ඇති අතර ඉන් තප්පරේට ගණනාඩි 1944ක ජල දාරිතාවක් කලාඔයට මුදාහරින බව රාජාංගන වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කළා.

Share