බලුකිස්තානයේ නිරිතදිග පළාත පුරා නගර කිහිපයක පකිස්ථාන ආරක්ෂක හමුදා සමඟ සටන් වැදුණු සටන්කාමීන් 92 දෙනෙකු මිය ගිය බව පකිස්ථාන හමුදාව පැවසීය.
මෙහෙයුම්වලදී ආරක්ෂක නිලධාරීන් 15 දෙනෙකු ද මිය ගිය බවත්, සටන්කාමීන් ප්‍රදේශ කිහිපයක සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් කාන්තාවන් සහ ළමුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගිය බවත් හමුදාව නිවේදනය කළා.
ඉරානය සහ ඇෆ්ගනිස්ථානය මායිම් වන සහ දශක ගණනාවක් තිස්සේ බෙදුම්වාදී කැරැල්ලකට මුහුණ දී ඇති බලුකිස්තානයේ වැටලීම්වලදී සටන්කාමීන් 41 දෙනෙකු මිය ගිය බව පකිස්ථාන හමුදාව ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුව මෙම ප්‍රහාර එල්ල වුණා.
බලුකිස්තානයේ තහනම් බෙදුම්වාදී කණ්ඩායමක් වන බලුච් විමුක්ති හමුදාව සෙනසුරාදා ප්‍රහාරවල වගකීම භාර ගනිමින් පළාත පුරා එකවර ඒවා දියත් කළ බව පැවසුවා.
බෙදුම්වාදී කණ්ඩායම පැවසුවේ එහිදී පකිස්ථාන ආරක්ෂක නිලධාරීන් 84 දෙනෙකු ඝාතනය කළ බවත්, අඛණ්ඩ මෙහෙයුම පැය 15 ක් පැවතුන බවයි.
ප්‍රහාර ඉන්දියානු අනුග්‍රහය ලත් සටන්කාමීන් විසින් සිදු කරන ලද බවත්, ඕනෑම නගරයක හෝ උපායමාර්ගික ස්ථාපනයක පාලනය අත්පත් කර ගැනීමට දැරූ උත්සාහයන් ව්‍යර්ථ කළ බවත් පාකිස්තාන හමුදාව පැවසුවා.
බලුකිස්තානය පාකිස්තානයේ විශාලතම නමුත් දුප්පත්ම පළාත වන අතර වාර්ගික බලුච් සටන්කාමී කණ්ඩායම්වලට සහය දෙන බවට පාකිස්තානය කරන චෝදනා ඉන්දියාව ප්‍රතික්ෂේප කරනවා.
මේ අතර ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර ඉවත් වන ලෙස මුස්ලිම් පල්ලිවලින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීම්වලින් පසුව, වයඹදිග පකිස්ථානයේ දුරස්ථ කඳුකර ප්‍රදේශයකින් දස දහස් ගණනක් ජනතාව පලා ගොස් ඇති බව වාර්තා වනවා.
ඇෆ්ගනිස්ථානයට මායිම්ව ඇති කයිබර් පක්තුන්ක්වා හි ටිරා නිම්නයේ පදිංචිකරුවන් පැවසුවේ, අධික හිම පතනය සහ සීතල නොතකා තමන් ප්‍රදේශයෙන් ඉවත්ව ගිය බවයි.
ටිරා නිම්නය දිගු කලක් තිස්සේ සංවේදී ආරක්ෂක කලාපයක් වන අතර පකිස්ථාන ආරක්ෂක හමුදාවන්ට ප්‍රහාර එල්ල කර ඇති ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් වන ටෙහ්රික්-ඊ-තලේබාන් පකිස්ථාන් සංවිධානයේ බලකොටුවක් ලෙස සැලකෙනවා.
කෙසේ වෙතත් පකිස්ථාන රජය ඉවත් කිරීම හෝ සැලසුම් කළ හමුදා මෙහෙයුමක් මෙතෙක් නිවේදනය කර නැහැ.





