මේ අතර දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම රජය වෙත මිලියන 250ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.
එහි සභාපති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය විසින් ඊට අදාළ චෙක්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත ඊයේ පිළිගන්වනු ලැබුවා.
මේ අතර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත මාර්ක් ඔන්ඩ්‍රි ෆොන්ච් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඊයේ මුණ ගැසුණා.
දිට්වා සුලි කුණාටුවේ බලපෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සහන සේවා සහ නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සහාය ලබා දෙන බවට නේවාසික නියෝජිතයා එහිදී සහතික වී තිබෙනවා.
එමෙන්ම මෙම ආපදාවෙන් විපතට පත් සියලු ජනතාව සඳහා වහාම එක්සත් ජාතින්ගේ සංවිධානය ක්ෂණික ආධාර අරමුදල යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 4.5ක මුදලක් ලබා දීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කළ ඔන්ඩ්‍රි ෆොන්ච් එම මුදල සංකේතාත්මකව අමාත්‍යවරයාට පිරිනැමුවා.
එක්සත් ජාතීන් කරනු ලබන ආධාර යටතේ ආහාර සුරක්ෂිතතාවය, නිවාස, පානීය ජලය, අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය හා ධීවර අංශ සඳහා ප්‍රමුඛතාව ලබා දෙනු ඇති.
මේ සඳහා විස්තරාත්මක ඇගැයීමක් සිදු කිරීම පිණිස දැනමටත් OCHA සංවිධානයේ 05 දෙනෙකෙුගෙන් යුතු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඔහු දැනුම් දී තිබෙනවා.
ආපදාව නිසා රටේ ජනජීවිතය, ආර්ථිකය, කෘෂි කර්මාන්තය ඇතුළු සියලු ක්ෂේත්රවල ඇති වූ බලපෑමෙන් යළි ගොඩනැගීම් ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තරයේ අඛණ්ඩ සහාය අවශ්‍ය බව අමාත්‍ය විජිත හේරත් මෙහිදී පෙන්වා දුන්නා.
මේ අතර අමාත්‍ය විජිත හේරත්, තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ ස්ටාලිනට දුරකථන ඇමතුමක් ලබා දී අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට හදිසි සහන ද්‍රව්‍ය එවීම සම්බන්යෙන් ස්තූතිය පළ කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට සමීපව පිහිටි ප්‍රාන්තය ලෙස ශ්‍රී ලංකාව මුහුණ දුන් සෑම දුෂ්කර අවස්ථාවකම සහායට පැමිණීම සම්බන්ධයෙන් ද අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රධාන අමාත්‍යවරයාට සිය ප්‍රසාදය පළ බව අමාත්‍යංශය නිවේදනය කළා.
තමිල්නාඩු රජය විසින් විපතට පත් ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ඇතුලු ආධාර ටොන් දහසක් මෙරටට එවනු ලැබුවා.





