බංග්ලාදේශයේ ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස කටයුතු කළ ඛලීඩා ෂියා , ජිවිතක්ෂයට පත් වූ බව ඇයගේ පක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය අද නිවේදනය කළා.
රෝගාතුරව එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන විට ඇය 80 වැනි වියේ පසුවුණා.
වසර 20කට පසු රටේ පැවති පළමු ප්රජාතන්ත්රවාදී මැතිවරණයේදී බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවමින් 1991 වසරේ දී ඛලීඩා ෂියා, බංග්ලාදේශයේ පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය බවට පත්වුණා.
ඇගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නොතකා, ඛලීඩා ෂියා පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරඟ කරන බව ඇගේ පක්ෂය මීට පෙර පැවසුවා.
එය ඇගේ දීර්ඝ කාලීන ප්‍රතිවාදියා වූ ෂෙයික් හසීනා බලයෙන් පහ කිරීමට හේතු වූ විප්ලවයකින් පසු පැවැත්වෙන පළමු මැතිවරණයයි.
බංග්ලාදේශයේ පවතින අස්ථාවර දේශපාලනික තත්ත්වය හේතුවෙන් එරට සුළු ජාතීන්ට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය ජුනි සිට දෙසැම්බර් දක්වා කාලය තුල බංග්ලාදේශයේ හින්දු සුළු ජාතීන්ට එරෙහිව ආගමික අපහසාත්මක චෝදනා 71ක් පමණ වාර්තා වී ඇති බව බංග්ලාදේශ සුළු ජාතීන් සඳහා වූ මානව හිමිකම් සම්මේලනය සඳහන් කළා.
මේ අතර පිරෝජ්පූර් දිස්ත්‍රික්කයේ දුම්රිතාලා, ගම්මානයේ හින්දු පවුල්වලට අයත් නිවාස 05ක් ගිනි තබා විනාශ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.





