ආරක්ෂක ගැටළු හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ඔවුන්ගේ T20 ලෝක කුසලාන තරඟ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගෙන යන ලෙස ICC යෙන් කළ ඉල්ලීම පිළිබඳ බංග්ලාදේශ ක්‍රීඩා උපදේශක අසිෆ් නස්රුල් අදහස් දක්වා තිබෙනවා.
ක්‍රීඩක ආරක්ෂාව සහ “බංග්ලාදේශයේ ගෞරවය” සම්බන්ධ ගැටලුවේ බරපතලකම පිළිබඳව ICC ට ඒත්තු ගැන්වීමට BCB උත්සාහ කරන බව ඔහු පවසනවා.
ICC යෙන් ලැබුණු ලිපියට අනුව, ඉන්දියාවේ දී බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලුව ICC යට සම්පූර්ණයෙන් අවබෝධ වී නොමැති බව තමන්ට වැටහෙන බවයි නස්රුල් සඳහන් කළේ.
ඔහු එහි සඳහන් කරන්නේ අඟහරුවාදා බංග්ලාදෙශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ පැවැත්වූ දුරකතන ඇමතුමකින් පසුව ICC යෙන් ලැබුණු සන්නිවේදනයක් පිළිබඳවයි.
එය ආරක්ෂාව පිළිබඳව කාරණයක් පමණක් නොව රටට කළ නින්දාව පිළිබඳ කාරණයක් බව තමන් විශ්වාස කරන්නේ යැයි ක්‍රීඩා උපදේශකවරයා පවසනවා.
බංග්ලාදේශය දැනට මූලික වටයේ පළමු තරඟ තුන කොල්කටාවේදී සහ අවසන් තරඟය මුම්බායිහිදී ක්‍රීඩා කිරීමට නියමිතයි.
රටවල් අතර සබඳතා පිරිහී යමින් තිබියදී, බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් 2026 IPL සංචිතයෙන් ඉවත් කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කොල්කටා නයිට් රයිඩර්ස් වෙත උපදෙස් දීමත් සමඟ, මෙම ගැටලුව උද්ගත වුණා.
මුස්තාෆිසුර් ඉවත් කිරීමෙන් පසු, බංග්ලාදේශ රජය රට තුළ IPL විකාශනය තහනම් කළ අතර, බංග්ලාදේශ ක්රිකේ පාලක මණ්ඩලය සිය T20 ලෝක කුසලාන තරඟ ඉන්දියාවේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරමින් ICC ය වෙත ලිපියක් යොමු කළා.
ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව, බංග්ලාදේශයේ ආරක්ෂාව සහ බංග්ලාදේශයේ ගෞරවය සම්බන්ධයෙන් කිසිදු සම්මුතියක් ඇති කර නොගන්නා බව බංග්ලාදේශ ක්‍රීඩා උපදේශක අසිෆ් නස්රුල් පවසනවා.
බංග්ලාදේශයට ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට අවශ්‍ය නමුත් ක්‍රීඩා කිරීමට අවශ්‍ය ශ්‍රී ලංකාවේදී බවයි ඔහු පැවසුවේ.
ICC අපගේ ඉල්ලීම විවෘත හදවතකින් සහ මධ්‍යස්ථව සලකා බලා බංග්ලාදේශයට ලෝක කුසලානයේ ක්‍රීඩා කිරීමට සුදුසු ලෙස ඉඩ දෙනු ඇතැයි නස්රුල් විශ්වාසය පල කරනවා.





