රථවාහන පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් ගමන් කළ යතුරු පැදියක් A 9 මාර්ගයේ වව්නියාව ප්රදේශයේ දී ලොරි රථ රියදුරෙක් විසින් අනතුරට ලක් කර තිබෙනවා.
මෙලෙස අනතුරට ලක් කර ඇත්තේ අණ නොතකා ධාවනය කළ ලොරි රථය පසුපස පොලිස් නිලධාරීන් හඹා ආ අවස්ථාවේ දී.
අදාළ ලොරි රථයේ රියදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද පෙරවරුවේ වව්නියාව, කළුකුන්නම්මඩුව ප්රදේශයේදී යාපනය – නුවර ප්රධාන මාර්ගයේ ධවනය වෙමින් තිබු කුඩා ලොරි රථයක් නවත්වන ලෙස රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දැනුම් දී තිබෙනවා.
නමුත් අණ නොතකා ධාවනය කළ එම කුඩා ලොරි රථය පසුපස පොලිස් නිලධාරීන් දෙදෙනෙක් හඹා ගොස් තිබුණා.
එම අවස්ථාවේ ලොරි රථය පොලිස් නිලධාරීන් පැමිණි යතුරුපැදියේ ගැටෙන්නට සලස්වා අනතුරට ලක් කරන අයුරු මෝටර් රථයක සිටි අයෙක් ජංගම දුරකතනයකින් රූ ගත කර තිබෙනවා.
එහිදී පොලිස් නිලධාරීන් මාර්ගයේ පසකට ඇද වැටෙන අතර යතුරුපැදිය ලොරි රථයේ පැටලී ඉදිරියට ඇදී යනවා.
ලොරියේ යතුරුපැදිය පැටලී තිබීම හේතුවෙන් ලොරිය මාර්ගයේ දමා රියදුරු පලා ගොස් තිබුණා.
බූඔය පාලම අසල යුද හමුදා කඳවුර දෙසට පලා ගොස් සිටි සැකකරු පසුව යුද හමුදා නිලධාරීන් භාරයට ගෙන පොලිසියට භාර දී තිබෙනවා.
අනතුරට ලක් වූ පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා වව්නියාව රෝහලේ ප්රතිකාර ලබනවා.





