පොල් ගස් මුදුන් කුණු වීමේ රෝගය උත්සන්නවෙයි

මාතර දිස්ත්‍රික්කයේ පැතිර යමින් පවතින පොල් ගස් මුදුන් කුණු වීමේ රෝගය පාලනය කිරීම සඳහා එම රෝගය වැළදුනු පොල් ගස් සති දෙකක පමණ කාලසීමාවක් තුළ කපා ඉවත් කිරීම හැර වෙනත් විසඳුමක් නැතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.
කෙසේ වෙතත් රෝගයට ගොදුරු වූ පොල් ගස් 5000ක් පමණ කපා ඉවත් කිරීමට බලධාරින් තීරණය කර ඇතත් ජනතාවගෙන් එල්ල වී ඇත්තේ දැඩි විරෝධයක්.

පසුගිය 11 වැනිදා මාතර – වැලිගම ප්‍රදේශයේ පොල් වගාකරුවෙකුගෙන් පොල් වගාකිරීමේ මණ්ඩලයේ නිලධාරින්ට මෙලෙස විරෝධයක් එල්ල වූයේ දිස්ත්‍රික්කය පුරා පොල් ගස් මුදුන කුණු වීමේ රෝගයට පිළියම් යෙදීමේ වැඩසටහනකදී.
දකුණු පළාත ආශ්‍රිතව වසර 20ක පමණ කාලයක් පැතිරෙන මෙම රෝගය හැඳින්වූයේ වැලිගම විල්ට් යන නමින්.
ආක්‍රමණික කෘමියෙකු හරහා මෙම රෝගය එක් පොල් ගසකින් තවත් පොල් ගසකට පැතිරෙන බව මේ වන විට හඳුනාගෙන තිබෙනවා.
පොල් ගසෙහි අතුවල ශක්තිමත් V හැඩය නැතිවීම, කොළ අප්‍රාණික වී පහතට එල්ල වැටීම, පොල් කොළ අවපැහැ ගැන්වී ඵලදාව ක්‍රමිකව අවසන් වීම ආදිය රෝගය වැළඳුණු බව හඳුනා ගැනීමේ ලක්ෂණයි.
මෙවන් තත්ත්යක් හමුවේ අදාළ රෝගය වැළඳුනු මාතර දිස්ත්‍රික්කයේ පොල් ගස් 5000ක් කපා විනාශ කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පසුගියදා තීරණය කළේ.
ඒ අනුව නොවැම්බර් 11 වැනිදා සිට සති දෙකක් පුරා පොල් දෙසතිය නමින් අදාළ රෝගය වැළදුනු පොල් ගස් හඳුනා කපා ඉවත් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා.
නමුත් මාතර දිස්ත්‍රික්කයේ බොහෝ ජනතාව මේ ව්‍යාපෘතියට එල්ල කරන්නේ දැඩි විරෝධයක්.
කෙසේ වෙතත් පොල් වගා කිරීමේ මණ්ඩලය පෙන්වා දෙන්නේ මෙම රෝගය මර්දනය කිරිම සඳහා පවතින සුදුසුම ක්‍රමවේදය වී ඇත්තේ අදාළ ගස් කපා ඉවත් කිරීම පමණක් බවයි.

Share