පිලියන්දල – කරදියාන කසල අංගනයට නීතිවිරෝධීව කසල බැහැර කිරීමේ ජාවාරමක් නීතියේ රැහනට හසු කර ගෙන තිබෙනවා.
ජාවාරම පිළිබඳ කරුණු අනාවරණ වී ඇත්තේ නීතිවිරෝධීව කසල බැහැර කිරීමට පැමිණී ටිපර් රථ රියදුරෙක් කැස්බෑව නගර සභාවේ හා අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ නිලධාරීන් භාරයට ගත් අවස්ථාවේ දී.
මෙම කසල ජාවාරමට සම්බන්ධ කරදියාන කසල අංගනයේ වැඩ පරික්ෂකවරයාගේ සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ගේ ද සේවය අත්හිටුවා තිබෙනවා.
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයට අයත් පිලියන්දල – කරදියාන කසල අංගනයට පළාත් පාලන ආයතන 7 කින් කසල බැහැර කෙරෙන අතර එම කසල බැහැර කිරීම සිදුවන්නේ නිසි යාන්ත්‍රණයකට අනුවයි.
පෞද්ගලික ආයතනයකින් මෙම ස්ථානයට කසල බැහැර කරන බවට ලද තොරතුරක් මත කැස්බෑව නගර සභාවේ හා අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ නිලධාරීන් පොලිසිය සමග එක්ව ඊයේ වැටලීමක් කර තිබුණා.
එහිදී කසල බැහැර කිරීමට පැමිණි පෞද්ගලික ආයතනයක ටිපර් රථ රියදුරෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණ වී ඇත්තේ මෙම කසල ජාවාරම දීර්ඝ කාලයක් පුරාවට සිදුකරගෙන ගොස් ඇති බවයි.
ඒ සඳහා අංගනයේ සේවකයන්ගේ ද සහය ලැබී ඇතැයි අනාවරණ වී ඇති අතර දැනට කසල අංගනයේ වැඩ පරික්ෂකවරයාගේ සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ගේ සේවය අත්හිටුවා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.





