පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් කර තිබෙනවා.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය ඉදිරියේ දී කතානායකවරයා වෙත යොමු කරන බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මානගේ ප්‍රේමසිරි, නවරත්න බණ්ඩාර, දීපාල් ගුණසේකර, සමන්සිරි හේරත් සහ අචල සුරංග ජාගොඩ ඇතුළු පිරිසක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් හතරක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
පෙත්සම්කරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාව මෙන්ම බොහෝ යුරෝපීය රටවල්වල ද ක්‍රියාත්මක වන බවයි.
ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වසර තිහ හතලිහ එක දිගටම සේවය කර විශ්‍රාම ගන්නා බවත් එසේ ජීවිතයේ සැඳෑ සමය ගත කරන මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කළහොත් එම මන්ත්‍රීවරු පමණක් නොව ඔවුන්ගේ වැන්දඹුවන්ද දැඩි අපහසුතාවයකට පත්වනු ඇති බවත් ඔහු කියා සිටියා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විවේකා සිරිවර්ධන මහත්මිය පෙන්වා දුන්නේ පසුගිය මාස තුනේදී පමණක් විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මිලියන සීයක විශ්‍රාම වැටුප් ගෙවා තිබෙන බවයි.
මෙම තත්ත්වය එන්න එන්න වැඩි වෙමින් පවතින බවත් ඇය පෙන්වාදුන්නා.
වත්මන් රජය බලයට පත්වූයේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට පියවර ගන්නා බවට ජනතාවට පොරොන්දු වෙමින් බවත් එම පොරොන්දුව ඉටු කිරීම සඳහා මහජනයා රජයට ජනවරමක් ලබා දුන් බවත් වැඩිදුරටත් ඇය පැවසුවා.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් මෙම පනත සම්මත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත් ඇය මෙහිදී සඳහන් කළා.
මෙම පනත් කෙටුම්පත තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බවත් අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් කිසිදු සාමාන්‍ය වැසියෙකු අධිකරණය හමුවට පැමිණ නොමැති බවත් පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ඒ අනුව අදාල පනත් කෙටුම්පත සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවත් කියා සිටියා.
සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලි පුද්ගල විනිසුරු මඩුල්ල ඉන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දු කළා.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පති නීත්‍යානුකූලව භාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය ඉදිරියේදී කතාකනායකවරයා වෙත යොමු කරන බවත් විනිසුරු මඩුල්ල අවසානයේදී නිවේදනය කළා





