ප්‍රදේශ රැසකට අදත් තද වැසි

ඊසානදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වී තිබීම හේතුවෙන් අදත් පළාත් කිහිපයකට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරනවා.

උතුර, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන්.

මේ අතර දිස්ත්‍රික්ක 4කට පනවා තිබූ නාය යෑමේ රතු නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය නිකුත්කළ නවතම නිවේදනයේ දැක්වුණා.

මේ වන විට ඊසානදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව උතුර, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව අනාවැකි පල කරනවා.
කෙසේවෙතත් උතුර, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත්, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මුලතිව් අල්ලපිලි ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර ඒ මිලි මීටර් 160ක්.
මේ අතර තවත් ප්‍රදේශ කිහිපයකටම තද වැසි ඇති වූ බව අප වාර්තාකරුවන් පැවසුවා.

Share