පහත් බිම් ප්‍රදේශවලට දැනට පවතින ගංවතුර තත්වය ඉදිරි පැය 24 ක කාලය තුළද පවති

මහවැලි ගංගා ද්‍රෝණියේ බදුලු ඔය උපද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ලැබෙන වර්ෂාපතනය හේතුවෙන් බදුලු ඔය උප ද්‍රෝණියේ බදුල්ල හා සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් බදුලු ඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට දැනට පවතින ගංවතුර තත්වය ඉදිරි පැය 24 ක කාලය තුළද පවතිනු ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
මේ හේතුවෙන් පවතින අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා.

කලා ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇද හැලෙන සැලකිය යුතු වර්ෂාපතනය හේතුවෙන් කලා ඔයෙහි ජල මට්ටමත් ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නවතම යාවත්කාලින කිරීමේ සඳහන්.
තවද රාජාංගනය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මේ වන විට තත්පරයට ගණ අඩි 14 දහස් තුන්සිය හැත්තෑවක තරම් සීඝ්‍රතාවයකින් කලා ඔයට ජලය මුදා හරිමින් පවතින බවත් එම වාර්තාවේ සඳහන් වෙනවා.
මේ හේතුවෙන් ඉදිරියේදී කලාඔයේ ජලධාරිතාව ඉහළ ගොස් දැඩි ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බැවින් කලා ඔය ද්‍රෝණියේ හිටි රාජාංගනය, නොච්චියාගම, වනාතවිල්ලූව, කරුවලගස්වැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවල පදිංචි ජනතාව අවධානයෙන් සිටින ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නවතම යාවත්කාලීන කිරීමේ නිවේදනයේ කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ දහරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව සඳහන් වනවා.
එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කැලණි ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මෙතැන් සිට ඉදිරි පෑ විසි හතරක කාලය තුළ රුවන්වැල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට සුළු ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවන්නේ.

නිල් වලා ගංගා ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශයන්ට ලැබෙමින් පවතින වර්ෂාපතනය හා ගංගා ද්‍රෝණියේ ඇති ජල මාපකවල දත්තයන් සලකා බැලීමේදී දැනට පවතින ගංවතුර තත්ත්වය පහළ ප්‍රදේශවලදී තව දුරටත් සුළු වශයෙන් වැඩි වීමට ඉඩ ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිවේදනයේ සඳහන්.
එම නිසා ගංවතුර තත්ත්වය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල තවදුරටත් වර්ධනය විය හැකි බැවින් නිල්වලා ගංගා ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කර තිබෙනවා.
මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසයි එම ගංගාවේ ආශ්‍රිතව පදිංචිව සිටින ජනතාවගෙන් සහ එම ප්‍රදේශය හරහා ගමන් ගන්නා වාහනවල රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ

මී ඔයේ ඉහළ ගොස් ඇති ජල පරිමාව හේතුවෙන් ගල්ගමුව, අබන්පොල, ආණමඩුව නවගත්තේගම මහ කුබුක්කඩවල, කරුවලගස්වැව, පුත්තලම, වනාතවිල්ලුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මී ඔය නිම්නයේ පහළ ප්‍රදේශවල මෙතැන් සිට ඉදිරි පැය දොළහක කාලය තුළ සුළුගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නවතම යාවත්කාලීන කිරීමේ සඳහන් වන්නේ.
මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් පසුවන ලෙස ඒ අවට පදිංචිකරුවන්ගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටිනවා.

Share