ශිෂ්‍ය වීසා අවභාවිතය වැළැක්වීමට බ්‍රිතාන්‍ය රජය ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් පකිස්ථානයේ සහ බංග්ලාදේශයේ සිසුන්ට එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වෙමින් තිබෙන බව CNA වාර්තා කරනවා.
සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වූ නව ස්වදේශ කටයුතු කාර්යාල නීති යටතේ, බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල ඔවුන් අනුග්‍රහය දක්වන ශිෂ්‍ය වීසා අයදුම්පත් වලින් සියයට 5 කට වඩා ප්‍රතික්ෂේප නොවන බවට සහතික විය යුතුයි.
නමුත් පකිස්ථානයේ සහ බංග්ලාදේශයේ අයදුම්කරුවන් සඳහා ප්‍රතික්ෂේප කිරීමේ අනුපාත බෙහෙවින් වැඩි වන අතර එය පිළිවෙලින් සියයට 18 ක් සහ සියයට 22 ක්.
රජයේ ඇස්තමේන්තු පෙන්වා දෙන්නේ 2024 දී ශිෂ්‍ය වීසා මත බ්‍රිතාන්‍යයට ඇතුළු වූ පුද්ගලයින් 16,000 ක් පමණ පසුව සරණාගතභාවය සඳහා ඉල්ලුම් කර ඇති බවයි.
පකිස්ථානයේ සහ බංග්ලාදේශයේ සරණාගතභාවය පතන්නන්ගෙන් සියයට 80 කට වැඩි පිරිසක් මුලින් වැඩ කිරීමට හෝ ඉගෙනීමට වලංගු වීසා මත පැමිණ ඇති බව විශ්වාස කෙරෙනවා.
රජයේ නීති රීති සපුරාලීමට අපොහොසත් වන ආයතනවලට විදේශීය සිසුන් බඳවා ගැනීම තහනම් කළ හැකි බැවින් බොහෝ විශ්ව විද්‍යාල පකිස්ථානයේ සහ බංග්ලාදේශයේ අයදුම්කරුවන් සඳහා දැඩි පරීක්ෂණ ක්‍රියා පටිපාටි පනවා ඇති අතර අනෙක් ඒවා එම රටවලින් අයදුම්පත් සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබෙනවා.





